මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නම් කරයි

    නොවැම්බර් 20, 2014
    ඊයේ (19) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුතුව රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් තුන්වැනි වරටත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කිරීමට තීරණය කළ බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (20) ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
     
    එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සභාපතීත්වයෙන් යුක්ත ව ජාතික මැතිවරණ මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට තීරණය වී ඇති අතර  මෙහි කැඳවුම්කරුවා වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරනු ඇත. නිමල් සිරිපාල ද සිල්වා, ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න, රත්නසිරි වික්‍රමනායක, බැසිල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම, ඒ.එච්.එම්. ෆවුසි සහ අනුර ප්‍රියදර්ශන යාපා යන අමාත්‍යවරු මෙම කමිටුවේ සාමාජිකයන් වශයෙන් කටයුතු කරනු ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
     
    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට රජය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් විපක්ෂය විසින් කරනු ලබන චෝදනාවන් මෙහිදී අනාවරණය කළ මාධ්‍යවේදීන් ඇමතූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එවැන්නක් අවශ්‍ය නම් තැන තැන ඒ පිළිබඳ කතා කිරීමේ ප්‍රතිඵලයක් නොවන බැවින් ඒ සම්බන්ධයෙන් පත් කොට ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට පැමිණ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කටයුතු කළ යුතු බවයි.
     
    "ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන්වීමට තවත් වසර දෙකක කාලයක් පවතී. ඡන්දයක් පැවතියත් ඉන් පසුව හෝ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ සම්බන්ධයෙන් තේරීම්කාරක සභාව හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වනවා. ජනාධිපතිවරණය හදිසියේ කැඳවූවක් නො වේ. මේ වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තීරණය කරනු ලැබුවේ මීට වසරකට පමණ කලිනි". 
     
    ජාතික මැතිවරණයක් අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පක්ෂ මාරුවීම් අතීතයේ පටන් සිදු වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙවර ආණ්ඩු පක්ෂයේ සිටින 160ක් වන පිරිස එලෙසින් ම සිටිනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් වැඩිදුරටත් පෙන්වා දුනි.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya