අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප‍්‍රතිගාමී දේශපාලන බලවේගවලට රැවටෙන්න එපා - පහර දුන්නා යැයි කියන සිද්ධිය අනුමත කරන්නේ නෑ Featured

    ඔක්තෝබර් 22, 2014

    පසුගිය 20දා ධීවර අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණය කරමින් වෙන්නප්පුව හා තෝඩුවාව ප‍්‍රදේශවල ධීවර නායකයන් කීපදෙනෙකු ඉතා ප‍්‍රචණ්ඩකාරි ලෙස හැසිරුණත් පහර දුන්නා යැයි කියන සිද්ධිය තමන් අනුමත කරන්නේ නැති බවත් අවාසනාවන්ත ලෙස තුවාල ලත් පිරිසට තම කනගාටුව ප‍්‍රකාශ කරන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා  පවසන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

     

    මෙම උද්ඝෝෂණය මෙහෙය වූ වෙන්නප්පුව, තොඩුවාව බහුදින යාත‍්‍රා හිමිකරුවන්ගේ සංගමය මීට සතියකට පෙර වෙන්නප්පුව හා තෝඩුවාව ප‍්‍රදේශවල ධීවර පිරිසක් සමඟ පැමිණ අමාත්‍යාංශයේදී ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ව හමුවී ඔවුන්ගේ ගැටලු පිළිබඳ ව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් එහිදී ඔවුන්ට අමාත්‍යවරයා කරුණු පැහැදිලි කර දුන් අතර ඔවුන් එය පිළිගෙන අමාත්‍යවරයාට ස්තූති කරමින් විද්‍යුත් මාධ්‍ය හමුවේ අදහස් පළ කළ බවද එම නිවේදනයේ සඳහන් වේ.

     

    එම සාකච්ඡාවෙන් දින 07ක් ගත වී යාමට මත්තෙන් කිසිදු දැනුම් දීමකින් තොර ව මෙම වෙන්නප්පුව, තොඩුවාව, හලාවත ප‍්‍රදේශවල බහුදින යාත‍්‍රාහිමිකරුවන්ගේ සංගමයේ නායකයන් අහිංසක ධීවරයන් ව ද රවටමින් අමාත්‍යවරයාට සංදේශයක් බාර දීමට යැයි පවසා, අමාත්‍යාංශය වෙත කැඳවාගෙන විත් සටන් පාඨ කියමින්, චෝදනාත්මක පුවරු ප‍්‍රදර්ශනය කරමින්, ඉතාමත් ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු ආකාරය අමාත්‍යාංශයේ CCTV කැමරාවල සටහන් වී තිබේ. අමාත්‍ය මහජන සම්බන්ධතා ලේකම් පේමසිරි පෙරේරා මහතා හා අමාත්‍යාංශ නිලධාරීන් කිහිප දෙනෙකු ගේට්ටුව අසලට ගොස් ඔවුන්ට සාකච්ඡා කිරීමට ආරාධනා කළ ද ඔවුන් පවසා සිටියේ "අපට කිසිදු සාකච්ඡාවක් අවශ්‍ය නොවන බවයි. අප පැමිණයේ උද්ඝෝෂණය කරමින් විරෝධය ප‍්‍රකාශ කිරීමට බවත්"ප්‍රකාශ කර තිබේ.

     

    ඉන් පසු ව මෙම පිරිස සටන් පාඨ හා විරෝධතා පාඨ කියමින් අපහාස උපහාස කරමින්, ප‍්‍රචණ්ඩ ලෙස හැසිරුණු ආකාරය අමාත්‍යාංශයේ විද්‍යුත් කැමරාවල සටහන් වී තිබේ. ඒ මොහොතේ එහි සිටි අමාත්‍යාංශ ආරක්ෂක නිලධාරීන් හා පොලිස් නිලධාරීන් ද ඒ බව දැක තිබේ. මෙම පිරිස සිය ප‍්‍රචණ්ඩත්වය ප‍්‍රදර්ශනය කරමින් අමාත්‍යාංශ ගේට්ටුව විවෘත කිරීමට උත්සාහ ගෙන තිබේ. එසේ ම මෙම ප‍්‍රචණ්ඩකාරී පිරිස තමන් රැගෙන ආ වතුර බෝතල්වලින් අමාත්‍යාංශය තුළ මෙම උද්ඝෝෂණය බලාගෙන සිටි සේවක පිරිසට දමා ගසන්නට විය. සමහරු ගල්වලින් දමා ගසන්නට ද විය. එකී ගල් වැදීම නිසා අමාත්‍යාංශයේ නවතා තිබූ වාහන කිපයකට හා අමාත්‍යාංශ දේපොළවලට බරපතළ ලෙස හානි සිදු විය. මෙහිදී අමාත්‍යාංශය තුළ සිටි සේවකයන්ටද පහර එල්ල කෙරුණි. මෙම ප‍්‍රචණ්ඩ හැසිරීම නිසා ම අමාත්‍යාංශ සේවක පිරිස ද ඔවුන් ගැසූ වතුර බෝතල්වලින් ම ප‍්‍රහාර එල්ල කරන්නට විය. මෙය දෙපාර්ශවය අතර ගැටුමක් දක්වා වර්ධනය වීම නිසා ධීවරයන් දෙදෙනෙකුට තුවාල සිදු වුණා යැයි දැනගන්නට ලැබුණි. මේ සියල්ල ම අමාත්‍යාංශයේ CCTV කැමරාවල හා අමාත්‍යාංශයෙන් ගේට්ටුවෙන් පිටත සිටි රූපවාහිනී නාලිකාවල මාධ්‍යවේදීන්ගේ කැමරාවල පැහැදිලි ව සටහන් වී තිබේ. දැනටමත් අමාත්‍යාංශය මෙම දේපොළ හානිය පිළිබඳ ව පොලිසියට පැමිණිලි කර තිබේ.

     

    මෙය වාර්තා වූ වහා ම අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පොලිසියට දැන්වූයේ මේ සිදුවීම පිළිබඳ ව පුළුල් පරීක්ෂණයක් පවත්වා වැරදි කරන ලද සියලු ම දෙනාට නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසයි. මේ සඳහා CCTV කැමරාවල හා රූපවාහිනී කැමරාවල සටහන් ව ඇති දර්ශන ද ප‍්‍රයෝජනයට ගත හැකි බව අමාත්‍යවරයා පැවසීය.

     

    මෙම සිදුවීම කිසිසේත් තමන් අනුමත නොකරන බවත් පහරදීම නිසා තුවාල ලැබූවා යැයි පවසන ධීවරයන්ට තම කනගාටුව ප‍්‍රකාශ කරන බවත් ඔහු සඳහන් කළේය. මෙම ධීවරයින්ගේ පිටුපස සිට ඔවුන් ව තම අවශ්‍යතා සඳහා මෙහෙයවන ප‍්‍රතිගාමී දේශපාලන බලවේග හඳුනාගෙන ඔවුන්ට එරෙහි ව ද පියවර ගත යුතු බවත් මෙම ප‍්‍රතිගාමී දේශපාලන බලවේගවලට නොරැවටෙන ලෙස සියලු ම ධීවරයින්ගෙන් තමන් ඉල්ලා සිටින බවත් අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා නිවේදනය මඟින් ප්‍රකාශ කර ඇත.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya