අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුරෝපා සංගමයේ පොදු අධිකරණයේදී එල්.ටී.ටී.ඊ.ය විසින් ගොනු කළ නඩුවේ ප්‍රතිඵලය - විදේශ කටයුතු අමාත්‍යංශයෙන් ප්‍රකාශයක්

    ඔක්තෝබර් 22, 2014
    2011 වසරේ දී යුරෝපා සංගමයේ පොදු අධිකරණයේදී  එල්.ටී.ටී.ඊ.ය විසින් ගොනු කළ නඩුවේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් මෑතකදී නිකුත් වූ ප්‍රකාශ පිළිබඳ ව විදේශ කටයුතු අමාත්‍යාංශය විමතියට පත් ව සිටියි. මෙම නඩුවේදී යුරෝපා සංගම් කවුන්සිලය විත්තිකාර පාර්ශවය වූ අතර, එය මැදිහත් පාර්ශවයන් වන නෙදර්ලන්ත රාජධානිය, එක්සත් රාජධානිය සහ යුරෝපා කොමිසමේ සහය ලැබීය. මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයන් විසින් සිදුකරන ලද මෙම ප්‍රකාශ සාවද්‍ය තර්කයන් මත පදනම් වී තිබේ. 
     
    මෙම නඩුව ගොනු කළ අවස්ථාවේ සිට ම යුරෝපා සංගම් පද්ධතිය තුළින් හා විශේෂඥ යුරෝපීය නීතිඥයන්ගෙන්  නීති උපදෙස් හා විශේෂඥ උපදෙස් ලබාගත්  බව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශ කර සිටියි. මේ අනුව, විත්තිකරුට හා මැදිහත් පාර්ශවයන්ට ක්‍රමවත් ව හා නිරන්තරයෙන් කරුණු සපයමින්, ශ්‍රී ලංකා රජය විසින් එයට ගත හැකි වූ වඩාත් ම ඵලදායී ආකාරයෙන් පියවර ගන්නා ලදී. ශ්‍රී ලංකාව යුරෝපා සංගමයේ සාමාජික රටක් නොවීම හේතුවෙන් යුරෝපා සංගමයේ පොදු අධිකරණය වෙත පමුණුවන නඩු සම්බන්ධයෙන් මැදිහත්වීමට නම් ශ්‍රී ලංකාවේ ජාතික අභිලාෂයන්ට පටහැනි ව විශේෂිත කොන්දේසි සපුරාලිය යුතුවීම නිසා මෙසේ පියවර ගන්නා ලදී.
     
    මෙවැනි වාතාවරණයක් තුළදී, එල්.ටී.ටී.ඊ.යේ මෙම ඉල්ලීමට ප්‍රතිවිරෝධය දැක්වීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා යුරෝපා කොමිසමට සහය වනු වස් ශ්‍රී ලංකා රජය අදාළ සියලු තොරතුරු කොමිසම වෙත සැපයීය.
     
    තීන්දුව දැනුම්දීමෙන් පසු ව විත්තිකරු හා මැදිහත් පාර්ශවයන්ට නියම කරන ලද කාලපරිච්ඡේදය ඇතුළත අභියාචන ක්‍රියාමාර්ගයකට එළඹීමට අවස්ථාව ඇත.
     
    මෙම නඩුවේ නම් කරන ලද පාර්ශවයන් සතු ව ඇති අනාගත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සලකා බලන කළ, සීමා කිරීමේ නව රෙගුලාසි සම්මත කරගැනීම, යුරෝපා අධිකරණයට අභියාචනය කිරීම හා යුරෝපා සංගමයේ සාමාජික රටවල් ජාතික ක්‍රියාමාර්ග ගැනීම යන විකල්ප ඔවුන් සතු ව පවතී. 
     
    එල්.ටී.ටී.ඊ.යේ ශේෂ වූ කොටස් සිදුකරන තර්ජනාත්මක මුදල් බලෙන් ලබාගැනීම තුළින් ශ්‍රී ලාකික පුරවැසියන් බිය වැද්දවීමෙන් මුදවා ගැනීමේ හා රට තුළ ත්‍රස්තවාදය යළි මතුවීමට ඇති හැකියාව වළක්වාලීමේ අභිලාෂයෙන් ශ්‍රී ලංකා රජය මෙම නඩුවට අදාළ පාර්ශවයන් වෙත දැනටමත් සහය ලබාදෙමින් සිටින අතර ඔවුන් මේ සම්බන්ධයෙන් ගනු ලබන අනාගත ක්‍රියාමාර්ගවලදී ද අඛණ්ඩ ව සහය ලබාදෙනු ඇත. ශ්‍රී ලංකා රජය මේ සම්බන්ධයෙන් ගන්නා පියවර ඉහළ ම ප්‍රමුඛත්වයක් ලබාදිය යුතු කරුණක් ලෙස සලකයි.
     
    විදේශ කටයුතු අමාත්‍යාංශය
    කොළඹ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya