මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “සිසුසැරිය” රියැදුරු සහ කොන්දොස්තරවරුන් සඳහා විශේෂ පුහුණුවක්

    සැප්තැම්බර් 27, 2014

    රාජ්‍ය අනුග්‍රහය යටතේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් පාසල් දරුවන් සඳහා ක්‍රියාත්මක කර ඇති “සිසුසැරිය” සේවාවේ යෙදෙන සියලු ම බස්රථ රියැදුරන් හා කොන්දොස්තරවරුන් සඳහා විශේෂ පුහුණුවක් ලබාදීමට  සැලසුම් කර ඇත.


    මෙහි පළමු අදියර යටතේ  බස්නාහිර, දකුණ, සබරගමුව හා මධ්‍යම යන පළාත්වලින් තෝරාගත් සිසුසැරිය සේවාවේ යෙදෙන රියැදුරු හා කොන්දොස්තරවරුන් 375 දෙනෙකු සඳහා පුහුණුව ලබාදීමට නියමිතය.


     ඒ අනුව අදාළ පුහුණු වැඩමුළුව අද (27) දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පෙ.ව 08.30 සිට ප.ව 5.00 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.


    පාසල් දරුවන්ව කලට වේලාවට,  සුවපහසුවෙන් යුතුව ආරක්ෂිතව පාසලට රැගෙන යාමට සහ නැවත ආරක්ෂිතව නිවෙස්කරා රැගෙන යාම, ඒ තුළින් ඔවුන්ට නිරවුල් මනසකින් යුතුව අධ්‍යාපන කටයුතුවල නිරතවීමට අවස්ථාව උදාකරදීම,  එම දරුවන්ගේ පවුල්වලට ආර්ථික සහනයක් හිමිවීම  සිසුසැරිය ව්‍යාපෘතියේ ප්‍රධාන  වාසි වේ.

     

    එහෙත් පාසල් දරුවන් සඳහා ම වෙන් වූ සිසුසැරිය සේවාවේ යෙදෙන බස් රථ රියැදුරන් හා කොන්දොස්තරවරුන්ට ඒ සඳහා විශේෂ වූ පුහුණු පාඨමාලාවක් මේ දක්වා ක්‍රියාත්මක වූයේ නැත. එබැවින් මෙය මහත් අඩුපාඩුවක් ලෙස හඳුනා ගනිමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වත්මන් පාලනාධිකාරිය විසින් මෙම  විශේෂ පුහුණු පාඨමාලා පැවැත්වීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ලබයි.


     ඒ අනුව මෙම පුහුණු වැඩමුළු යටතේ පාසල් සේවාවේ යෙදෙන රියැදුරන් හා කොන්දොස්තරවරුන්, තමන් ප්‍රවාහනය කරනු ලබන්නේ රටක අනාගතය සුරැතිව සිටින  පාසල් දරුවන් බවත්, ඔවුන්ව සුරක්ෂිතව සහ නියමිත වේලාවට පාසලට සහ නැවත නිවෙස් කරා රැගෙන යාමේ වගකීමත්, එම දරුවන්ට දයාවෙන් කරුණාවෙන් යුතුව සැලකීමේ අවශ්‍යතාවයත්, පාසල් බස් රථයේ සිටින කාලසීමාව තුළදී ඔවුන්ට තම නිවසේ මෙන් නිදහස් මානසිකත්වයෙන් හා සතුටින් හැසිරීමට අවකාශය සලසාදීමේ අවශ්‍යතාවයත් පිළිබඳව මෙහිදී අදාළ රියැදුරන් හා කොන්දොස්තරවරුන් දැනුවත් කිරීමට හා පුහුණු කිරීමට නියමිතය.


    වැඩමුළුව අවසානයේදී සාර්ථකව පුහුණු පාඨමාලාව අවසන් කරන රියැදුරන් හා කොන්දොස්තරවරුන් සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් පුහුණු සහතිකයක් සමග නිල හැඳුනුම්පතක් ලබාදෙනු ලැබේ.


    එමෙන්ම දීප ව්‍යාප්තව, සිසුසැරිය සේවාවේ යෙදෙන සියලු ම රියැදුරන් හා කොන්දොස්තරවරුන් පුහුණු කිරීමෙන් අනතුරුව එම නාමලේඛන පිටපතක් සිසුසැරිය ප්‍රවාහන සේවාව භාවිත කරන පාසල් වෙත ලබාදීමට ද ජාතික ගමනාගමන කොමිෂන් සභාව සැලසුම් කර ඇත.


    උක්ත වැඩමුළුව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රේණුක පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, වැඩමුළුවේ දේශන පැවැත්වීම සඳහා ප්‍රවීණ දේශකවරුන්ගේ සම්පත් දායකත්වය ලබා ගැනෙනු ඇත.


     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya