මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයන් සඳහා උපකාර කිරීමට රජය නිරතුරුව ම කටයුතු කරනවා Featured

    සැප්තැම්බර් 11, 2014
    ස්වයංරැකියා ආදී කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයන් සඳහා උපකාර කිරීමට රජය නිරතුරුව ම කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා පවසයි.

     
    රජයේ වර්තමාන සංවර්ධන වැඩපිළිවෙළේ දී මෙන්ම ඉදිරි අය-වැය තුළින් ද කර්මාන්ත සංවර්ධනය කිරීම උදෙසා වැඩි දායකත්වයක් ලබාදෙන බව ගම්පොළ, ජාතික උරුමය මධ්‍යස්ථානයේ පැවති වෘත්තීය පුහුණු වැඩසටහනේ දී අග්‍රාමාත්‍යතුමා මේ බව කීවේය.

     අග්‍රාමාත්‍ය ආර්යා අනුලා යාපා ජයරත්න මහත්මියගේ සංකල්පයක් මත ගම්පොළ ආසනයේ කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ වෘත්තීය පුහුණුවට යොමු වන කාන්තාවන් සඳහා කැපූ මල් සකස් කිරීමේ ව්‍යාපාර හඳුන්වාදීම නිමිත්තෙන් මෙම වැඩමුළුව පැවැත්විණ.

    එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමා, කාන්තා අභිවෘද්ධිය උදෙසා අප රජය විශාල වැඩ කොටසක් සිදු කර ඇති බවත්, එම කටයුතු තවදුරටත් අඛණ්ඩව ඉටු කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුත් අප රජය විශාල මුදල් සම්භාරයක් වෙන්කර ඇතැයි කීවේය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමා මෙසේ ද ප්‍රකාශ කළේය. 
    “ප්‍රාදේශීය මට්ටමෙන් ජනතාවට දියුණුවක් අත්කර ගැනීම සඳහා සුදුසු වාතාවරණය අප රජය නිර්මාණය කර තිබෙනවා. ගම්පොළ ප්‍රදේශයේ කෘෂිකාර්මික භෝග මෙන් ම, මල් හා විසිතුරු පත්‍ර වගා කිරීම ඇතුළු කෘෂිකාර්මික කටයුතු උදෙසා මම සැලකිය යුතු මෙහෙවරක් සිදු කර තිබෙනවා. ඒ යටතේ ලෝකයේ විශාලතම මල් වෙළඳපළ හිමි ප්‍රංශයේ, මල් අලෙවි කිරීම සඳහා ශ්‍රී ලංකාවට සුදුසු ස්ථානයක් ලබා දීම සඳහා මම කටයුතු කළා.  

    එවැනි සම්බන්ධීකරණ කටයුතු කිරීම මෙන් ම, ව්‍යවසායකයන්ට නිසි මාර්ගෝපදේශනය ලබාදීම මගින් ප්‍රාදේශීය මට්ටමින් ආර්ථික වශයෙන් ජනතාව සවිබල ගැන්විය හැකිය.  එමගින් ඍජු මෙන් ම, වක්‍ර රැකියා අවස්ථා රැසක් උදා කර ගැනීමේ හැකියාව තිබෙනවා” යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා පැවසීය. 

    අග්‍රාමාත්‍ය ආර්යා අනුලා යාපා ජයරත්න මහත්මිය අදහස් දක්වමින්, “අද බොහෝ කාන්තාවන් ස්වයංරැකියා තුළින් ආදායම් ලැබීම කෙරෙහි අවධානය යොමුකර තිබෙනවා. නුවරඑළිය වැනි ප්‍රදේශවල මල් වගා කිරීම සඳහා වැඩි වශයෙන් කාන්තාවන් යොමු වී තිබෙනු දැකිය හැකියි.  පිරිමින් හා සමාන ව ම ඇතැම් විට ඊටත් වඩා කාන්තා පාර්ශ්වය ආර්ථිකයට දායක වන අවස්ථා ද තියෙනවා.  

    අද මූලික පුහුණුවක් ලබන මෙම කාන්තාවන් සිය රැකියා ක්ෂේත්‍රය විධිමත් අයුරින් දියුණු කර ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ඒ සඳහා රජයෙන් ද විශාල පිටිවහලක් ලබාදෙනවා” යැයි අග්‍රාමාත්‍ය ආර්යා අනුලා යාපා ජයරත්න මහත්මිය පැවසුවාය.

     මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් නීතිඥ අනුරාධ ජයරත්න මහතා අදහස් දක්වමින්, “සිය විමධ්‍යගත ප්‍රතිපාදන තුළින් ස්වයංරැකියා ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ඉදිරියේ දී මුදල් වෙන් කරන බවත්, ඒ යටතේ ග්‍රාමීය මට්ටමේ රැකියා අවස්ථාවන් ඉහළ නැංවීම සඳහා අවධානය යොමුව ඇති බව කීවේය. 
     
    වර්තමානයේ දී ගම සංවර්ධනය කිරීම තුළින් රට සංවර්ධනය කළ හැකි බව බෙහෙවින් ම අවබෝධ කර ගත් අප රජය ඒ සඳහා ග්‍රාමීය මට්ටමේ සිට යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව කීවේය. ග්‍රාමීය මට්ටමේ නිෂ්පාදන වෙළඳපළ වෙත කඩිනමින් ආරක්ෂාකාරීව සහ ලාභදායීව රැගෙන යාම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව නීතිඥ අනුරාධ ජයරත්න මහතා වැඩිදුරටත් පැවසීය. 

    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya