අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "Pro food – Pro Pack Ag- Biz 2014 " ප්‍රදර්ශනය ආරම්භ වේ

    අගෝස්තු 22, 2014

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා ආහාර සකස් කරන්නන්ගේ සංගමය හා ශ්‍රී ලංකා ප්‍රදර්ශන මධ්‍යස්ථානය විසින් 13 වන වරටත් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ දැවැන්තම ආහාර සැකසුම්කරණ හා කෘෂිකාර්මික ප්‍රදර්ශනය "Pro food – Pro Pack Ag- Biz 2014 " අද (22) ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා කර්මාන්ත වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ හා ප්‍රදර්ශන පරිශ්‍රයේදී ආරම්භ විය.


    "ගොවිපොළේ සිට මුළුතැන්ගෙට" ( From the Farm to the Kitchen) තේමාව යටතේ ආහාර සැකසුම්කරණය, ඇසුරුම්කරණය හා රසවත් ආහාර පිළියෙළ කිරීමේ විවිධ ශිල්පීය ක්‍රම හඳුන්වා දෙන දැවැන්ත ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් ලෙස ප්‍රකට මේ ප්‍රදර්ශනය සඳහා දේශීය විදේශීය ආහාර නිෂ්පාදකයන්, සකස්කරන්නන් හා ආයතන 300කට අධික සංඛ්‍යාවක් ඉන්දියාව, චීනය, මැලේසියාව, ඩුබායි හා පකිස්තානය යන රටවල් 20කින් සහභාගී වන අතර නව නිෂ්පාදන 1000කට අධික සංඛ්‍යාවක් ද හඳුන්වා දෙනු ලැබේ. 

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් විශේෂ මණ්ඩපයක් ප්‍රදර්ශන භූමියේ පවත්වා ගෙන යන අතර එහි ආහාර සැකසුම්කරණයේ, ඇසුරුම්කරණයේ හා කෘෂි කාර්මික අංශයේ යෙදී සිටින ප්‍රාදේශීය සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් සඳහා විශේෂ ඉඩ ප්‍රස්ථාවක් ලබා දීම සිදු කරයි. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ඔවුන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළට හඳුන්වාදීම අමාත්‍යාංශය එමඟින් බලාපොරොත්තු වේ. තම නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉඩකඩ සකසා ගැනීම මෙන්ම නව නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දීම, උප කොන්ත්‍රාත් ලබා ගැනීමට හැකියාව ලැබීම, විදේශ ඇණවුම් ලබා ගැනීම, ආනයන අපනයනකරුවන් වෙළෙඳ හා අපනයන ප්‍රවර්ධකයන් සුපිරිවෙළෙඳසැල් හිමියන් ආදී මහා පරිමාණ ව්‍යාපාරිකයන් හා ආයතනයන් අසුරුම්කරණ හා බෙදා හැරීමේ මධ්‍යස්ථාන ආදී විවිධ ක්ෂේත්‍රකරුවන් හමුවීමට අවස්ථාව ලැබීම හා දිනෙන් දින වෙනස් වන ඇසුරුම්කරණ තාක්ෂණය පිළිබද දැනුම ලබා ගැනීමට ද මෙහිදී ඔවුන්ට අවස්ථාව ලැබේ.

     පසුගිය වසරවල අති සාර්ථකත්වයට පත් වූ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ සියලු පාර්ශවකරුවන් එකම ස්ථානයකදී හමු වන මෙම දැවැන්ත ප්‍රදර්ශනය අද සිට ලබන 24 වන දා තෙක් උදෑසන 10 සිට රාත්‍රී 8 දක්වා විවෘත අතර පැමිණෙන සියලු දෙනාටම ප්‍රණීත ආහාර පාන රස විදීමේ අවස්ථාවද  හිමි වේ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya