අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යහ පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නට අප සියලු දෙනා ඒකාබද්ධ ව කටයුතු කළ යුතුයි

    මාර්තු 26, 2015

    ඉදිරි කාලය තුළ පවතින විධායක ජනාධිපති ධූරය රටට ජනතාවට අහිතකර බලතල නැති කිරීමට තීන්දුවක් ගත යුතුව තිබෙනවා. යහ පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නට අප සියලු දෙනා ඒකාබද්ධව කටයුතු කළ යුතු යැයි ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.


    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (26) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ භාරගනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    මගේ දේශපාලන ජීවිතයේ ම ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස මේ අවස්ථාව හැඳින්විය හැකියි. මේ අවස්ථාවේ අතිගරු ජනාධිපතිතුමාට මාගේ ස්තූතිය පුදකරනවා. අද මා නියෝජ්‍ය අමාත්‍ය ධූරයට ගෙන ඒමට මාගේ දඹදෙණිය ජනතාව විශාල කැපවීමක් කළා.මා ඔවුන් ගෞරවයෙන් සිහිපත් කරනවා.

    මේ තනතුරු ලැබෙන්නේ ජනතාවට සේවය කරන්නයි. පක්ෂ නායකත්වයට ගරු කරන පක්ෂයේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන මහජන සේවයක් අප කළ යුතුයි. යහ පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නට අප සියලු දෙනා ඒකාබද්ධව කටයුතු කළ යුතුයි. ශ්‍රී ලංකාවේ සමහර නායකයන්ට මානව හිමිකම් අභියෝග තිබෙනවා. පක්ෂ හැටියට බෙදිලා මේවා ජයගන්න බෑ. එහෙම වුණාම නැති දේවල් ජාත්‍යන්තරයට කියයි.

    මාධ්‍ය ආයතනවල ද යහ පාලනය ඇති කරන්නට කටයුතු කරනවා. විධායක ජනාධිපති ධූරය පිළිබඳ ව විශාල කතාවක් තිබෙනවා. ඉදිරි කාලය තුළ පවතින විධායක ජනාධිපති ධූරය රටට ජනතාවට අහිතකර බලතල නැති කිරීමට තීන්දුවක් ගත යුතුව තිබෙනවා.

    මෙය තනිව කාටවත් තීරණය ගත යුතුයි. පටු දේශපාලනික වාසි පැත්තක තියලා, ජාතික වැදගත්කමකින් යුතු වැඩපිළිවෙළකට යා යුතුද නැද්ද කියලා තීරණයක් ගන්න අවශ්‍යයි යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    ජනතාව ඉල්ලන්නේ පිරිසිදු මැතිවරණ ක්‍රමයක්. පැහැදිලි ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන මැතිවරණ ක්‍රමයක් ඉල්ලන්නේ. පැහැදිලි සාධාරණ මැතිවරණ ක්‍රමයකට අප යා යුතුයි.

    මේ අවස්ථාවට කම්කරු අමාත්‍ය එස්.බී. නාවින්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන, වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, අතිරේක ලේකම් කේ.ඩබ්ලිව්.ටී.එන්. අමරතුංග යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහු පිරිසක් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීහු පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya