මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයෙන් වී වගාවට සිදු ව ඇති හානිය තක්සේරු කිරීම කඩිනමින් ආරම්භ කරන්න- කෘෂිකර්ම අමාත්‍ය

    අගෝස්තු 07, 2023

    නියඟය නිසා වී වගාවට සිදු ව ඇති හානිය තක්සේරු කිරීම කඩිනමින් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් ලබා දී ඇත.

    මෙම යල කන්නයේ දී නියඟයේ බලපෑම හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක කිහිපයක වී වගාවට සිදු ව ඇති හානිය ඉහළ ගොස් ඇති බවට ගොවි සංවිධාන නියෝජිතයන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ.

    අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගියදා (6) අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි නියෝජිතයින් සමග අමාත්‍යවරයා සිදු කළ සාකච්ඡාවේදී මේ පිළිබඳව අනාවරණය වූ අතර වී වගාවට හානි වූ ගොවි ජනතාවට යම් වන්දි මුදලක් ලබා දීමට සිදු වනු ඇති බවට එහිදී ගොවි නියෝජිතයන් පෙන්වා දී ඇත.

    ඒ අනුව දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි නියඟයේ බලපෑම නිසා වී වගාවට සිදුව ඇති හානිය සම්බන්ධව තක්සේරු කිරීම වහාම ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී. වීරසේකර මහතාට උපදෙස් දී තිබේ.

    කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මේ වනවිට බෝග හයක් සඳහා නොමිලයේ රක්ෂණාවරණයක් ලබා දීම සිදු කෙරේ. ඒ අනුව වී, මිරිස්, බඩඉරිඟු, සෝයා බෝංචි, අර්තාපල් හා ලොකු ලූණු සඳහා කාලගුණික හේතුන් නිසා සිදුවන වගා හානිවීමකදී අක්කරයකට රුපියල් 40,000ක් බැගින් හෙක්ටයාර් එකකට රුපියල් ලක්ෂයක මුදලක් ලබා දෙයි. මෙම මුදල දායක මුදලකින් තොරව ලබා දෙන අතර රුපියල් 6400ක දායක මුදලක් ලබා ගැනීම මගින් අක්කරයකට රුපියල් ලක්ෂය බැගින් හෙක්ටයාර් එකකට රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් ලබා ගැනීමට ද පහසුකම් සලසා තිබේ.කෙසේ වුවද මෙවර නියඟය නිසා වගා හානි වැඩිපුරම සිදුව තිබෙන්නේ උඩවළව ජලාශය හා චන්ද්‍රිකා වැව යටතේ කුඹුරු වගා කර තිබෙන ගොවීන්ට බව පැවසූ අමාත්‍යවරයා මෙම සියලු ගොවීන්ට වගා හානි වන්දි ගෙවීමෙන් පමණක් සිදුවන හානිය ලඝු කළ නොහැකි බව අවධාරණය කළේය.


    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා;


    " මෙම වගා හානි ලබා දීම කිසිසේත්ම ප්‍රමාණවත් යැයි මම සිතන්නේ නැහැ. ගොවි ජනතාවට සමනල වැව ජලාශයෙන් එක් වතුර මුරයක් හෝ ලබා දුන්නොත් දැනට හානි වී තිබෙන ගොයම්වලින් සියයට 60ක් පමණ බේරා ගත හැකියි. ජලය ලබා දීමේ ප්‍රමුඛත්වය දෙස බලන විට පළමු ප්‍රමුඛත්වය විදුලි උත්පාදනයට ලබා දෙන්නේ නැහැ. ඒ අනුව මේ වෙලාවේ කළ යුත්තේ ගොවිතැනට අවශ්‍ය ජලය ලබා දීමයි. එසේ නොකර වන්දි දුන්නට ගොවි ජනතාවට සතුටක් නැහැ.

    ගොවීන්ට වන්දි දුන්නට මුදල් ආහාරයට ගන්න බැරි බව හැමෝම දන්නවා. ආහාරයට අවශ්‍ය බත්. එහෙම නම් අපි වී වගාවට මේ වෙලාවේ සමනල වැවේ ජලය නිකුත් කළ යුතුමයි කියන ස්ථාවරයේ මම ඉන්නවා.

    ඒ වගේම හානියට පත් වන වී වගාව සඳහා දැනට ලබා දෙන වන්දිය ප්‍රමාණවත් නැහැ. ඒ නිසා එම වගා හානිය වැඩි කළ හැකිදැයි සොයා බලන ලෙස මම කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දෙනවා.

    2022 වසරේ වගා හානි සඳහා මෙම මණ්ඩලය විසින් රුපියල් මිලියන 1700කට ආසන්න මුදලක් වැය කර තිබෙනවා. ඒ අනුව මෙවර සිදුව ඇති වගා හානි සඳහා කොපමණ මුදලක් අවශ්‍යදැයි හිතාගන්නවත් නොහැකි යැයි" ද අමාත්‍යවරයා සඳහන් කළේය

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya