මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය පුරවැසියා දක්වා ගෙනියනවා - හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    අගෝස්තු 04, 2023

    ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියෙහි මූලිකම වෙනස වනුයේ එතෙක් පැවති බාහිර රෝගී අංශ වල රෝගියා ඉලක්ක කරගත් සෞඛ්‍ය සේවාව රෝගියාගෙන් බැහැරට ගෙනගොස් පුරවැසියා දක්වා ගෙනයාම බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ පුරවැසි කේන්ද්‍රීය සෞඛ්‍ය සේවාවක් ලබාදෙමින් සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් ප්‍රතිලාභ මහජනතාව වෙත ලබාදීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    2019 වසරේ සෞඛ්‍ය අමාත්‍යංශය ලෝක බැංකු ආධාර යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය ඇරඹූ බව සිහිපත් කළ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා මෙමගින් රෝගයට ප්‍රතිකාර කිරීම ඉක්මවමින් පුරවැසියා තුළ ඇති අවධානම් සාධක හඳුනාගනිමින් ඒවා පාලනයට යොමුවන බව අවධාරණය කළේය.

    මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රථම වරට පුද්ගලයෙකු ලියාපදිංචි කර ඔහුගේ මූලික අවධානම් සෞඛ්‍ය තොරතුරු ඩිජිටල් දත්ත පද්ධතියකට ඇතුලත් කරන බවද, ඒවා ජාතික මට්ටමේ දත්ත පද්ධතියක් බවට පත් කරමින් සෞඛ්‍ය සැලසුම් සඳහා භාවිතා කිරීම අරඹන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    නිරන්තර අඛණ්ඩ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවකට අත්‍යවශ්‍ය දෙයක් වන වෛද්‍ය සැපයුම් අඛණ්ඩව ලබාදීමට නම් ඒ පිළිබද පැහැදිලි වාර්තා තිබිය යුතු බවද, එම නිසා මෙම ව්‍යාපෘතිය හරහා වෛද්‍ය සැපයුම් තොරතුරු කළමනාකරණ පද්ධතිය ගමට, ප්‍රාදේශීය රෝහලට සහ ප්‍රාථමික රෝහලට ගෙනයාමට අවශ්‍යයැයි තීරණය කර එය ක්‍රියාත්මක කළ බවද සඳහන් කළේය.

    ප්‍රාථමික සෞඛ්‍යෙය්දී ප්‍රජා බලකරණය ඉතාම වැදගත් බව සිහිපත් කළ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා මෙම ව්‍යාපෘතියේ ප්‍රධානම කාර්යයක් ලෙස සෑම රෝහලක්ම එනම් ප්‍රාථමික සෞඛ්‍ය ජනතාවට ලබාදෙන ආයතනයක්ම ඔවුන්ගේ බල ප්‍රෙද්ශය ලෙස හඳුනාගෙන ඇති ග්‍රාම නිලධාරී වසම් කිහිපය අනූව සෑම පුරවැසියෙකුම ළගම ඇති ප්‍රා‍දේශීය රෝහලකට අනියුත්ක කර සිතියම්ගත කර ඇතැයිද පැවසුවේය. එම පුරවැසියන් පරීක්ෂාවන්ට ලක්කිරීමට ගෙන්වාගැනීමට එනම් සෞඛ්‍ය සේවාවට බද්ධ කිරීම සදහා සුවසේවා මිතුරෝ නමින් ප්‍රජා සංවිධානයක් සෑම රෝහලකම පිහිටුවා ඇතැයිද දැනට රෝහල් 600ක පමණ මෙය ක්‍රියාත්මක බවද සඳහන් කළේය.

    2024 වසර වන විට මෙම මුථ වෙනස් වීමේ ක්‍රියාවලියම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලංකාවේ පවතින සියලුම රෝහල් වල ක්‍රියාත්මක කරන බවද පැවසුවේය. දැනට ලංකාවේ ඇස්තමේන්තු ජනගහණය මිලියන 22කට ආසන්න බවද, අවුරුදු 35දී මෙම අවධානම් සාධක එනම් බෝ නොවන රෝගයක් අනාගතයේ වැළඳීමට ඉඩ ඇතිද යන්න සොයාගැනීමට හැකි මට්ටමට වසර 35දී ළඟාවන බවද අවධාරණය කළේය.

    අවුරුදු 35ට වැඩි සියලුම පුද්ගලයින් ළඟම ඇති රෝහලේ ලියාපදිංචි කර ඔවුන්ගේ අවධානම් සාධක පරීක්ෂා කිරීම මෙමගින් සිදුකරන බවද ඇස්තමේන්තුගත ජනගහනය අනූව ලංකාවේ මිලියන 9.6ක් 35ට වැඩි අය සිටින අතර මේ වන විට මෙම ව්‍යාපෘතිය හරහා අවුරුදු 35 සපිරුණු පුද්ගලයින් ලක්ෂ 13ක් පමණ පරීක්ෂාවට ලක්කර ඇතැයිද සඳහන් කළේය.

    ඉදිරියේදී ලංකාවේ මානව ප්‍රාග්ධන දර්ශකය 90% ඉක්මවන මට්ටමකට ළඟාවුවහොත් 2048දී සංවර්ධිත රාජ්‍යයක් වන සිහිනය සිහිනයක් පමණක් නොවනු ඇතැයිද මෙලෙස පුරවැසියා ඉලක්ක කරගත් පුරවැසියා යහපත් තත්ත්වයට රැගෙන එන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවුණහොත් අපට සංවර්ධන රාජ්‍යය හුදෙක් සිහිනයක් වනු ඇතැයිද අවධාරණය කළේය.

    ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය හරහා සැසසුම් සහගත විධිමත් සෞඛ්‍ය සේවාවක් සැලසීමේ හැකියාවක් ඇතැයිද ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසුවේය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සැපයුම් හා නිෂ්පාදන) වෛද්‍ය සමන් රත්නායක මහතා, සඳලංකාව ප්‍රාදේශීය රෝහලේ ආයතන භාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඩී එල් රණවීර මහතා, එම රෝහලේ හෙද නිලධාරී උපේක්ෂා පතිරණ මහත්මිය සහ එම රෝහලේම ප්‍රධාන ඖෂධවේදිනී මුතූ මුදන්නායක මහත්මිය සහභාගී වූහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya