මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැවැන්ත නියගයක් හා ආහාර හිඟයක් සම්බන්ධව මුළු ලෝකයම අනතුරු අඟවා තිබෙනවා- ගෙවතු වගා වැඩසටහන් මගින් ආහාර අර්බුදයට මුහුණ දිය හැකියි

    ජූලි 31, 2023

    අඟුනකොලපැලැස්ස ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 10ක ක්‍රියාත්මක කර තිබෙන ගෙවතු වගා වැඩසටහන තුළ ප්‍රතිලාභීන් 250කට අවශ්‍ය පැළ කට්ටල ලබා දීමේ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (29) පැවැත්විණ.

    Outreach Guarantee පුද්ගලික ආයතනය ආරම්භ කර ඇති තිරසාර කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ග්‍රාම සේවා වසම් 10ක පවුල් සඳහා මෙම ගෙවතු වගා වැඩ සටහන ආරම්භ කර තිබේ.

    මෙම වැඩසටහන මේ වනවිට සාර්ථක ප්‍රතිඵල ලබා ඇති අතර තිරසාර කෘෂිකර්ම වැඩ සටහන මගින් ආරම්භ කළ එළවළු හා පලතුරු වගාවන් මෙන්ම කුකුළු පාලනය හා ගව පාලනය යටතේ ගොවි ජනතාවට ඔවුන්ගේ ජීවන තත්ත්වයන් ඉහළ නංවාලීමට හැකියාව ලැබී ඇත.

    මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා ඉදිරි මහ කන්නය අසාර්ථක වුවහොත් මේ රට තුළ දැඩි ආහාර හිඟයක් ඇතිවිය හැකි බැවින් ඒ සඳහා මුහුණ දීමට වගා කළ හැකි සෑම ස්ථානයකම කුමක් හෝ ආහාර බෝගයක් වගා කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

    දැවැන්ත නියගයක් හා ආහාර හිඟයක් සම්බන්ධව මුළු ලෝකයම අනතුරු අඟවා තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය රජය පසුගිය සතියේ සිට සහල් අපනයනය නවතා දැමුවා. අපේ රටට සහල් අවශ්‍ය වුවහොත් මිල දී ගත්තේ ඉන්දියාවෙන්. නමුත් දැන් ඉන්දියාව සහල් අපනයනය නවතා ඇති නිසා අපිට සහල් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. හැකියාව තිබුනත් සහල් ආනයනය කරන්න සල්ලිත් නැහැ.

    ඒ වගේම අපේ රටේ ආහාර සංචිතයක් නැහැ. වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී නොගත් නිසා හදිසි අවශ්‍යතාවයකට යොදා ගැනීමට වී තොග ද අප සතුව නැහැ. ඒ නිසා ඉදිරි කාලයේ රටේ මිනිස්සු ආහාර හිඟයට කොහොම මුහුණ දෙයිදැයි හිතාගන්නටවත් බැහැ.

    නමුත් තවමත් දිස්ත්‍රික්ක දෙක තුනක හැර අනෙක් ප්‍රදේශවලට ජලය ගැටළුවක් නැහැ. ඒ නිසා වගා කළ හැකි හැම බිම් අඟලක්ම වගා කරන ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    මෙම තිරසර කෘෂිකාර්මික සංවර්ධන වැඩ සටහන ඉතාමත් සාර්ථකයි. මෙවැනි වැඩ සටහනක් ක්‍රියාත්මක කළ යුතුව තිබෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි. ඒ සදහා අවශ්‍ය තාක්ෂණය, දැනුම, ඥාණය, පහසුකම් සියල්ල තිබෙනවා. නමුත් මෙවැනි වැඩ සටහනක් ආරම්භ කරන්නට තවමත් අපේ අයට හැකි වී නැහැ.

    ලබන සතියේ මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග මේ සම්බන්ධව සාකච්ඡා කරනවා. මෙවැනි ගෙවතු වගා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මගින් අපිට ආහාර අර්බුදයට මුහුණ දිය හැකි යැයි ද අමාත්‍යවරයා කීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya