මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    MICH 1 හා 2 මිරිස් ප්‍රභේද දෙකේ අස්වැන්න ඉහළට

    ජූලි 29, 2023

    MICH 1 හා 2 මිරිස් ප්‍රභේද දෙක මගින් හෙක්ටයාර් එකකින් ලැබිය හැකි විභව අස්වැන්න ටොන් 35ක් දක්වා ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

    මින් පෙර මැලේසියාවෙන් හා වෙනත් රටවලින් ආනයනය කරන ලද මිරිස් බීජ භාවිතයට ගොවීන් උනන්දු වූවද MICH 1 හා 2 මිරිස් ප්‍රභේද දෙක මහඉලුප්පල්ලම කෘෂිකාර්මික පර්යේෂණායතනය හඳුන්වා දීමත් සමග එම මිරිස් වර්ග දෙක වගා කිරීම සඳහා ගොවීන් කැමත්තක් දක්වයි.

    මින් පෙර මෙරට මිරිස් වගාවට වැළදුනු කොළ කොඩවීමේ රෝගය හා වෙනත් රෝග තත්ත්වයන් හේතුවෙන් ගොවින් මිරිස් වගාවෙන් ඈත් වී තිබේ.නමුත් නව මිරිස් ප්‍රභේද දෙක හඳුන්වා දීමෙන් අනතුරුව එමගින් ලබා ගත හැකි විශාල අස්වැන්න, රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව සහ මිරිස් වගාවේ දී නව තාක්ෂණය මගින් අක්කර භාගයක් තුළ රෝපණය කළ හැකි මිරිස් පැළ ප්‍රමාණය ඉහළ යාමත් සමග ලබා ගත හැකි සාමාන්‍ය අස්වැන්න ප්‍රමාණය ද කිහිප ගුණයකින් ඉහළ ගොස් ඇත.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන පරිදි මේ වනවිට MICH 1 මිරිස් ප්‍රභේදය මගින් හෙක්ටයාර් එකකට ටොන් 35ක විභව අස්වැන්නක් හා ටොන් 25ට වඩා සාමාන්‍ය අස්වැන්නක් දක්වා අස්වනු ප්‍රමාණය ඉහළ ගොස් තිබේ.

    එමෙන්ම MICH 2 මීරිස් ප්‍රභේදය මගින් හෙක්ටයාර් එකකට ලැබිය හැකි විභව මිරිස් අස්වැන්න ටොන් 32 දක්වාත් සාමාන්‍ය අස්වැන්න ටොන් 25ක් දක්වාත් ඉහළ මට්ටමක පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. මේ අතර මිරිස් නිෂ්පාදනය හා ඵලදායිතාවය ඉහළ නැංවිම සඳහා නව තාක්ෂණය හදුන්වා දීම් ද සිදු කර ඇත.

    ඒ අනුව මිරිස් බෝගයට වැළදෙන ඇන්ත්‍රැක්නෝස් රෝගය පාලනයට ඇසොක්සිට්‍රොබින් 60 සමග ක්ලෝරොතැලොනිල් ලීටරයට ග්‍රෑම් 500 SL ඵලදායී බව හඳුනා ගැනීම, මිරිස්වල උසස් තත්ත්වයේ කරල් සහිත ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සඳහා කරල් හටගන්නා අවධියේ දී පත්‍රවලට ඉසිනයක් වශයෙන් මුරුංගා පත්‍ර නිස්සාරකය (MLE 100%) යෙදීම ඵලදායි ක්‍රමයක් බව හඳුනා ගෙන තිබේ.

    එසේම පොලිතින් වසුන් යෙදීම මඟින් මිරිස්වල වෛරස් රෝග සඳහා රසායනික නොවන කළමනාකරණ ක්‍රමයක් හඳුනා ගැනීම, මිරිස්වල බීජ නිෂ්පාදන පිරිවැය 50%කින් අඩු කිරීමට තාක්ෂණික පැකේජයක් හඳුන්වාදීම, මිරිස් සඳහා බිංදු ජල සම්පාදනය සහිත නව ශෂ්‍ය විද්‍යාත්මක කට්ටලයක් හඳුන්වා දී අතර එමගින් මිරිස් අස්වැන්න හෙක්ටයාරයකට ටොන් 45ක් දක්වා වැඩි කිරීමට හැකි වූ අතර මතුපිට ජල සම්පාදනය 30-50% දක්වා ප‍්‍රමාණයකින් අඩු කළ හැකි වීම ද වේ.

    මේ අතර MICH 1 හා 2 මිරිස් ප්‍රභේද දෙකම මිරිස් වගාවට බහුල වැළඳිය හැකි රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව නිසා මෙම මිරිස් වගාව මගින් ගොවීන්ට පාඩු සිදු නොවීම ද ගොවීන් මිරිස් වගාව කෙරෙහි මේ වනවිට ඉහළ ආකර්ෂණයක් ඇති බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

    දැනට රටේ මිරිස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 52,500ක් වන අතර ඉන් මෙ. ටො. 5000ක් මෙරට තුළ නිපදවයි. ඉතිරි මෙ. ටො. 48,500 ම විදේශ රටවලින් ආනයනය කරනු ලබයි.

    නමුත් MICH 1 හා 2 මිරිස් ප්‍රභේද නිසා 2025 වනවිට රටට අවශ්‍ය මිරිස් වලින් සියයට 80ක් අප රට තුළම නිපදවීම සඳහා හැකියාව ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වගා කර ඇති මිරිස් වගාවන් නිරීක්ෂණයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya