අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලි මිනිස් ගැටුම මැඩීමේ තිරසර මුහුණුවර

    ජූලි 11, 2023

      ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා එහි කාර්යභාර්ය

    වනජීවී සංරක්ෂණය වෙනුවෙන් ශ්‍රි ලංකාවේ ඇති ප්‍රධානතම රාජ්‍ය ආයතනය වන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි.

    1937 වසරේ සම්මත කරගත් වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත අනුව මෙරට සතුන් හා ශාක මෙන්ම ඊට අදාළ වාසස්ථාන පිළිබඳව අවධානය යොමුකරමින් ස්වභාවික සම්පත් හා පරිසර පද්ධති කළමණාකරණය හා සංරක්ෂණ මෙන්ම ඒ හරහා ඒවායේ යහපැවැත්ම සහතික කිරීම වෙනුවෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පුළුල් කාර්යභාර්යක් පවතී. ශාක හා සත්ත්ව විශේෂ වඳ වී යාම වැළැක්වීම, ජෛව විවිධත්වය පවත්වා ගැනීම, ස්වභාවික සම්පත් තිරසරව භාවිතා කිරීම ප්‍රවර්ධනය මෙන්ම අයථා භාවිතය වැළැක්වීම ආදිය වෙනුවෙන් එම දෙපාර්තමේන්තුවට ඇති වගකීම සුළුපටු නැහැ. කෙසේ වෙතත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා ජනතාව අතර සම්බන්ධය තහවුරු වන ප්‍රධානම මූලාශ්‍රය බවට වර්තමානයේ දී මතුව තිබෙන්නේ “අලි මිනිස් ගැටුම“ යන්න යි. මෙම ගැටුම මැඩීම සම්බන්ධයෙන් වන ක්‍රියාදාමයන්ට මෙන්ම හානි සඳහා වන්දි ලබාදීම යන ක්‍රියාදාමයන් කෙරෙහි වැඩි අවධානයක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකිරීමට සිදුව තිබෙන්නේ මෙම පසුබිම හේතුවෙනි.

    එහෙත් හෙක්ටයාර ලක්ෂ 12 කට අධික භූමි ප්‍රදේශයක විහිද ගිය ජාතික රක්ෂිත, අභය භූමි, යෝජිත අලි කළමණාකරන ප්‍රදේශ ආදී වශයෙන් රක්ෂිත 108 ක කළමණාකරණය හා ආරක්ෂණයන් සිදුකිරිම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරී තිබේ. ඒ සඳහා වන ක්‍රියාකාරකම් රැසක් සිදු කළ යුතුව ඇත්තේ ද අවම සේවක සංඛ්‍යාවක් මත වීම ද සැලකිය යුතු කරුණකි. සතුන් පලවා හැරීම්, දැනුවත් කිරීම්, සතුන්ට පහසුකම් සැලසීම්, සතුන්ට ප්‍රතිකාර කිරීම්, ජනතා කටයුතු වලට සහය වීම් , විද්‍යාත්මක පර්යේෂණ ආදී විවිධ ක්‍රියාකාරකම් සහිත පරාසයක් දෙපාර්තමේන්තුවට ආවරණය කිරීමට සිදු වේ.

     පරිසරය සම්බන්ධ නීති රෙගුලාසි පරිසර සංරක්ෂණයට වඩා මිනිසා මිනිසාට ආදරය කිරීම උදෙසායි


    කිසි කළෙක මිලට ගත නොහැකි අමිල දායාදය පරිසරය යි. ස්වභාවිකව ගොඩ නැගී ඇති මෙම පරිසරය අහිතකර වූ තැන ජීවයක් නැත. එහි උරුමය පවතීන්නේ මිනිසුන්ට පමණක් නොවේ. නමුත් වර්තමාන මිනිසා සිය මනස මෙහෙයවන්නේ පරිසර සංවේදීතාවය නොතකමින් බව පෙනේ. ජීවීන්ට ජීවත් වීමට සුදුසු පරිසරයක් අවශ්‍ය බව මිනිසා විසින් කෙමෙන් නොතකා හැරීම තුළ සිදුවන්නේ ඛේදජනක ඉරණමකට මං සලසා ගැනීමකි.

    බුදුන් වහන්සේට අනුව පරිසරය යනු දයා අනුකම්පාවෙන් හා පරිත්‍යාග ශීලිත්වයෙන් යුත් අපූරු ජීවියෙකි. සැබැවින්ම ජීවිතය සුන්දර වීමට පරිසරය සුන්දරව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය මානව ගුණයකි. ගසක් වැඩෙන්නේ යම් සේ ද ඊට අනුරූපව එරට සංවර්ධනය මැනිය හැකි බව ශ්‍රි ජවහර්ලාල් නේරු තුමන් ප්‍රකාශකර තිබේ. එනයින් වැඩෙන ගස යනු රටක සංවර්ධනයේ ජීවමාන සංකේතයයි. මාඕ සේතුං ට


    අනුව ගස්වැල් යනු ඇදහිය යුතු වස්තූන් ය. රතු ඉන්දියානු නායක සියැටෙල්ට අනුව සතුන් සියලු දෙනා වැනසී ගිය හොත් නෙබෝ කලකින් මිනිසා ද මේ ලොක්යෙන් තුරන් වනු ඇත. පරිසරය සම්බන්ධයෙන් විවධ නීති රෙගුලාසි ගොඩනැගී ඇත්තේ එහි පැවැත්ම මත මානවයාගේ තිරසර පැවැත්ම රඳා පවතින නිසා බව පරිසරයේ අගය සම්බන්ධයෙන් විවිධ යුගයන් හි මතුව ඇති අදහස් තුළින් ගම්‍ය වේ. එම නිසා පරිසර නීති පවතින්නේ මිනිසා මිනිසාට ආදරය කළයුතු නිසා බැව් වටහාගෙන සුවහසක් ජනතාව පරිසරය සමග සහජීවනයෙන් කටයුතු කිරීමට අවශ්‍ය පරිදි හදවත හා බුද්ධියේ මනා සංකලනයකින් යුත් ස්වභාවයකින් කටයුතු කළ යුතුව පවතී.

     තිරසර සංවර්ධනයේ සැබෑ මුහුණුවර

    තිරසර සංවර්ධනය යනු අනාගතයට සම්පත් සුරක්ෂිත කරමින් සිදු කරන බිඳ නොවැටෙන සංවර්ධන ප්‍රවේශයකි. එහි දී භෞතික හා ආධ්‍යාත්මික සංවර්ධනය සමබරව පවත්වා ගැනීම නියත වශයෙන්ම කළයුත්තක් වේ. තිරසර සංවර්ධනය මුළුමනින්ම රඳා පවතින්නේ පරිසර සීමා හඳුනාගනිමින්, ජීවිතයේ ගුණ මත පදනම්ව සිදු කරන ආර්ථික සුබසාධනය මතයි. එහි දී පරිසරයේ ප්‍රාණය අපගේ ප්‍රාණය බව සැවොම වටහාගත යුතුව තිබේ. මන්ද ජෛව විවිධත්වය සුරක්ෂිත වන අන්දමින් කටයුතු කිරීමෙන් පමණක්ම මිනිසාට සිය පැවැත්ම තහවුරු කරගත හැකි වේ. රටක දුප්පත්කම නැති වීමට නම් කුසගින්න නැති කිරීම, යහපත් සෞඛ්‍ය හා යහපැවැත්ම සාධනය කිරීම, මනා අධ්‍යාපනය ආදිය ක්‍රමානුකූලව ඉහළ නැංවීම අනිවාර්ය වේ. එවිට සමාජයක් තුළ අසමානතා අඩුකර සාමය යුක්තිය ආදිය ස්ථාවර කළ හැකියි. එමෙන්ම තිරසර ඉලක්ක සඳහා හවුල් වන ජන සමාජයක් මේ සියල්ල ඔස්සේ ගොඩනැගීමට ද හැකියි.

    එසේ නම් සාධාරණ සංවර්ධන ඉලක්ක සඳහා හවුල් වීමේ දී පිරිසිදු ජලය, සනීපාරක්ෂාව, දැරිය හැකි හා පිරිසිදු බලශක්තිය , තිරසර නගර හා ප්‍රජාවන් නිර්මාණය ආදියට ජනතා සහය ලැබිය යුතුමය. එහි දී යහපත් මාවතක් ඔස්සේ ආර්ථික වර්ධනයක් කරා යන්නට අවශ්‍ය වේ. කර්මාන්ත, නවෝත්පාදන, යටිතල පහසුකම් ආදිය සාධාරණ පිළිවෙත් වශයෙන් ක්‍රියාවට නැන්වීමට වගබලා ගත යුතුයි. මෙම ක්‍රියාකාරකම් සියල්ල තුළ නිරත වන ජනතාව සිතිය යුතු ප්‍රධානතම සංවර්ධන සීමාව බවට පරිසරය පත්කරගත යුතුයි. සතුන්, තුරුලතා ආදිය ඇතුලත් පරිසරය ගැන නොසිතා සිදුකරන සංවර්ධනය කිසි දිනෙක තිරසර සංවර්ධනයක් බවට පත් නොවේ.

     බොහෝ පරිසර ගැටළු අභිබවා පැන නැගුණ ශ්‍රි ලංකාවේ අලි මිනිස් ගැටුම


    මෙරට අලි ගහණය පිළිබඳව අවසන් වරට සංගණනයක් සිදුකර ඇත්තේ 2011 වසරේ දී යි. එහි ප්‍රතිඵලයට අනුව මෙරට වෙසෙන අලි සංඛ්‍යාව 5879 කි. (හීලෑ අලි ඇතුන් මීට ඇතුලත් නොවේ). ආසියාකරයේ වැඩිම අලි ඝනත්වයක් සහිත රට ලෙස සැලකෙන්නේ ද ශ්‍රි ලංකාව යි. අප රටට වඩා හැට ගුණයකින් පමණ විශාල ඉන්දියාව තුළ ජීවත් වන්නේ අලි 30000ක පමණ සංඛ්‍යාවකි. චීනය තුළ සිටින අලි සංඛ්‍යාව 300 ක් බව හඳුනාගෙන තිබේ. මෙරට අලින්ගේ ව්‍යාප්තිය සලකන විට රටෙහි භූමි ප්‍රමාණයෙන් 2/3 පමණ ප්‍රදේශයක අලි වාසය කරයි. දිස්ත්‍රික්ක වශයෙන් ගත් කළ දිස්ත්‍රික්ක 18 ක් ආවරණය වේ.

    මේ ත්ත්වය මත මෙරට අලි මිනිස් ගැටුම අද වන විට උග්‍ර මුහුණුවරකට පැමිණ තිබේ. අලි සහ මිනිසුන් අතර විරසක බව සම්බන්ධ මෙරට ඉතිහාසය 1950 දශකය දක්වා කාලයකට දිව යයි. මීට දශක කිහිපයකට පෙර ලෝක මිහිකත සමුළුවට ඉදිරිපත්කරන ලද පරිසරය හා සංවර්ධනය පිළිබඳ පුරවැසි වාර්තාවට ද අලි මිනිස් ගැටුම පිළිබඳව ඇතුළත්කර ඇත. සමස්ථ වශයෙන් ගත් කළ මෙරට අලි මිනිස් ගැටුමේ ඉතිහාසය දශක පහක් ඉක්මවයි. වාසස්ථාන විනාශය, වනාන්තර ඛණ්ඩනය, මාර්ග අවහිර කිරීම්, අනවසර අල්ලා ගැනීම්, අක්‍රමවත් සංවර්ධනය, තිරසර නොවන ඉඩම් භාවිතය, ආක්‍රමණික ශාක, දේශගුණික විපර්යාසය , රක්ෂිත වෙත කුණු බැහැර කිරීම් ආදිය ඇතුළත්ව බොහෝ හේතු සාධක මෙම ගැටළු පුළුල් වීමට මං පාදා තිබේ. වාර්ෂිකව වාර්තා වන මිනිස් මරණ සහ අලි මරණ සම්බන්ධව සලකා බැලීමෙන් දැනට ශ්‍රි ලංකාවේ පවතින අලි- මිනිස් ගැටුමෙහි උග්‍ර බව මනාව වටහාගත හැකියි.

    2021 වසරේ දී පමණක් මේ නිසා අහිමි වූ ජීවිත ගණන 142 කි. 2022 දී එය 146 දක්වා වැඩි වී තිබේ. 2021 දී අලි 375 දෙනෙකුගේ ජීවිත අහිමි වූ අතර 2022 දී එම සංඛ්‍යාව 439 ක්. වෙඩි තැබීම්, විදුලි රැහැන් ඇදීම්, වස ශරීරගත වීමට සැලැස්වීම්, හක්කපටස් , ඇණ ලෑලි තැබීම්, මදු ගැසීම්, අනතුරු ආදී විවිධ හේතු නිසා අලින්ට සිය ජීවිත අහිමි වේ. එමෙන්ම සිය නිදහස් ජීවන රටාව අහිමි වන අලි ඇතුන්ගෙන් මිනිසාට සිදුවන හානිය සුළුපටු නැත.

    අලි නිසා ඇතිවන විවිධ හානි සඳහා රජයට විශාල මුදලක් වාර්ෂිකව වැය කරන්නට ද සිදුව තිබේ. 2016 වසරෙන් පසුව වන්දි ගෙවීම් සඳහා මුදල් වෙන් කිරීම ද වැඩිකර ඇත. 2016 දී දේපල හානි සඳහා ගෙවූ රුපියල් 50000 වෙනුවට දැන් ලක්ෂ පහ දක්වා ගෙවීම් සිදුකරයි. තුවාල සිදුවීම් සඳහා ගෙවූ රුපියල් 30000 ක මුදල වෙනුවට දැන් ලක්ෂයක් දක්වා වන්දි ලබා දේ. සදාකාලික ආබාධ වූවන්ට සහ අලින්ගෙන් සිදුවන මිනිස් මරණයක් වෙනුවෙන් මීට පෙර ගෙවා ඇත්තේ රුපියල් ලක්ෂයක මුදලක් වුව ද දැන් එය ලක්ෂ දහය දක්වා වැඩි කර ඇත. මේ හැරුණු කොට අලි මිනිස් ගැටුම පාලනය සඳහා රුපියල් මිලියන ගණනින් මුදල් වැය වේ. විදුලි වැට ඉදිකිරීම, ඒවා නඩත්තුව , අලි පලවා හරීම්, අලි ඇල්ලීම, ආදී කටයුතු සඳහා මුදල් වැය කිරීමට සිදුව ඇති අතර අලි වෙඩි ලබාදීම සඳහා පමණක් වාර්ෂිකව වැය වන මුදල රුපියල් මිලියන 200 ක් පමණ වේ.

    මෙවැනි කවර ක්‍රියාමාර්ගයක් ගත්ත ද අලි මිනිස් ගැටුම සාර්ථක පාලනයක් වෙත තවමත් පැමිණ නැත. මෙය ජනතාවට මෙන්ම ගැටුම පාලනය කිරීමට කැපවන නිලධාරීන්ට ද අතිශය පීඩා ගෙන දෙන තත්ත්වයක් බවට පත්ව තිබේ. වනජීවී නිලධාරීන්ට ද හැකි උපරිමයෙන් සිය කාර්ය ඉටුකරන්නේ බොහෝ බාධකයන් පවතිද්දි සිය ජීවිත ආරක්ෂාව ද නොතකමින්. අලි පලවා හැරීමට යාමේ දී වනජීවී නිලධාරියෙක් අලියකුගේ පහරදීමකින් ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ දී මිය යාම එහි ආසන්නතම සිදිවීමයි. විවිධ හේතු සාධක මත සිය රාජකාරියේ දී ජීවිත අහිමි වූ වනජීවි නිලධාරීන් සංඛ්‍යාව මේ වන විට 130 තරම් සංඛ්‍යාවකි.

     අලි මිනිස් ගැටුම මැඩීම සඳහා දිගු කාලීන හා කෙටි කාලීන විසඳුම්


    මේ ගැටුම රටේ විශාල ප්‍රදේශයක විහිද පවතින නිසා අලි හා මිනිසුන් අතර සහජීවනයක් ගොඩ නැගීමට තිරසාර විසඳුම් ගැනීම අනිවාර්ය වශයෙන් සිදුකළ යුත්තකි. එහි දී රටෙහි පවතින සංස්කෘතික , ආගමික පසුබිම ද සැලකිල්ලට ගැනීමට සිදුව තිබේ. කවර තීරණ විසඳුම් යෝජනා වුවද , ඒවා ක්‍රියාත්මක කළද එයින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට කල්පනා කිරීම අනිවාර්ය වේ.

    වනජීවී සංරක්ෂණයට අදාල මානව හා භෞතික සම්පත් හිඟ වීම, ලබා දී ඇති විසඳුම් අඛණ්ඩව ක්‍රියාත්මක නොවීම, එම විසඳුම් පවත්වා ගැනීමට ජනතා සහය නොලැබීම, වනාන්තර විනාශය , ජනතාව තුලින් සාමුහිකත්වය ගිලිහීම, ජනතාවගේ පවතින අපරික්ෂාකාරි බව, නියාමනයේ දුර්වලතා, ජනගහන ව්‍යාප්තිය , අලගි හීලෑ කිරීමේ උසස් යාන්ත්‍රණයක් නොමැති කම , අලි ඇතුන් පිළිබඳ ජනතා දැනුම පහල මට්ටමක පැවතීම, අලින්ට ප්‍රමාණවත් ආහාර නොමැතිකම, මාධ්‍යයේ මැදිහත් වීම ගුණාත්මක මුහුණුවරක් නොතිබීම ආදි හේතු සාධක රැසක් නිසා උග්‍රව ඇති අලි මිනිස් ගැටුම මැඩීමට යාමේ දී එම දුර්වලතා මගහරවා ගැනීමට සමත් විසඳුම් කෙටි කාලීන හා දිගු කාලීන වශයෙන් ක්‍රියාවට නැංවිය යුතුව තිබේ.

    මෙහිදී ක්‍රමවත් පරිදි ගම සූදානම් කරවීම, වන විනාශයට වැට බැදීම,නිරන්තර නියාමනය ,වනජීවී නිලධාරීන් ප්‍රමාණවත් පිරිදි බඳවා ගැනීම, වනජීවී කාර්යාල සංඛ්‍යාව වැඩි කිරීම, සත්ත්ව පාලනයට හුරු වීම, ජනතා සහභාගිත්වය වැඩි කිරීම සඳහා දැනුවත් කිරීම් , දේශපාලනික විනිවිද බව, ගැටුම්කාරි අලි පලවා හැරීම, විදුලි වැට ඉදි කිරීම,අලි අකමැති බෝග වගාව, ආදි විසඳුම්වලට කෙටි කාලීන වශයෙන් යා යුතුව පවතී. මෙයින් බහුතර විසඳුම් සංඛ්‍යාවක් දැනටමත් ක්‍රියාත්මක වුව ද ඒ සියල්ලහි වැඩිදියුණුවක් අවශ්‍යව පවතී.

    මෙම ගැටුම් මැඩීම සඳහා ගතහැකි දිගුකාලීන විසඳුම් වල දී අලින්ට ප්‍රයෝජනවත් වනාන්තර වැවීම, පාසල් මට්ටමින් පරිසර අධ්‍යාපනය පුළුල් කිරීම, අලි හීලෑ කිරීමේ වැඩ පිළිවෙලක් දියත් කිරීම, අලි ගාල් සංඛ්‍යාව වැඩි කිරීම, ආදිය සිදුකරන්නට හැකිනම් ජාතික ගැටළුවක් මට්ටමට මත්ව පවතින අලි මිනිස් ගැටුම පාලනයකට ගෙන එමේ හැකියාව උපදිනු ඇත.

     අලි ඇතුන් ආශ්‍රිත සංචාරක ආකර්ෂණය ප්‍රවර්ධනය කිරීම


    මෙම ක්‍රියාමාර්ගය පුළුල්ව සලකා බැලිය යුතු අංශයක්ව පවතී. වර්තමානය වන විට වනජීවී දෙපාර්තමේන්තුවෙන් රජයට ලබාදෙන ආදායම රජයේ සමස්ත උපයාදීම් වලින් 10% කට ආසන්න වේ. සංචාරක කර්මාන්තය තුළ අලි ඇතුන් සම්බන්ධ ප්‍රවර්ධනය තුළින් එම ආදායම් මට්ටම තව තවත් වැඩි කිරීමේ හැකියාව පවතී. දැනටමත් මේ සම්බන්ධව සංචාරක කර්මාන්තයේ නිරත පිරිස් අවධානය යොමු කර ඇත. පසුගිය කාලයේ අලි ඇතුන් ආශ්‍රිතව සංචාරක කර්මාන්තයෙන් මුදල් උපයා ඇති තත්ත්ව කෙරේ, අවධානය යොමු කිරීමේ දී ශ්‍රි ලංකාවේ වාසය කරන එක් අලියෙකුට දිය හැකි වටිනාකම රුපියල් මිලියන 4 ක් පමණ වන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයෙක් වන මංජුල අමරරත්න මහතා සඳහන් කරයි. එසේ නම් අලි සම්පත මනාව කළමණාකරණය කළහොත් එයින් සංචාරක කර්මාන්තය හරහා ඉහළ ආදායමක් උපයා ගැනීමේ අවස්ථාව පවතී. එමෙන්ම ජනතාව ද මේ සම්බන්ධව
     උනන්දු කරවීම නිරන්තරවම සිදුකළ යුතුය. ඇතැම් ප්‍රදේශවල හේන් යාය වෙත සංචාරකයින් පැමිණෙන්නේ රාත්‍රියෙහි එම හේන් යාය තුළ ගත කරමින් අලි ඇතුන් දැකීමට ද ප්‍රිය කරමිනි. මෙයින් එම ජනතාවට ඉහළ ආදායමක් ද ලැබේ.

     අලි මිනිස් ගැටුම මැඩීමට ජනතාවගෙන් මතුවිය යුතු සහජීවන ගුණාංග


    මෙහි දී පළමුව මිනිසාට මෙන්ම සතුන්ට ද ජීවත්වීමේ අයිතියක් පවතින බව වටහාගත යුතු වේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පමණක් තනිව සියලු දේ සිදුකරන්නට නොහැකියි. මිලියන ගණනක් වියදම් කොට සකසන ලද විදුලි වැට ගැමි ජනයාට සහයෝගයෙන් නඩත්තුකර ගැනීමට පෙළඹුමක් නොමැති තත්ත්වයක් දැනට පවතී. හානිය ගැන කියනවා මිසක එය අවමකර ගැනීමට මිනිසුන් දක්වන දායකත්වය ඉතා අල්ප තත්ත්වයකයි පවතින්නේ. අලි ගැවසෙන ප්‍රදේශවල අලි ආහාරයට නොගන්නා බෝග වගා කිරීමට පෙළඹීම තුළිනුත් සත්ත්ව පාලනය වැනි ක්‍රමවේද වලට යොමු වීමෙනුත් අලි ආශ්‍රිත සංචාරක ප්‍රවර්ධනයේ දී ඊට දායකත්වය දැක්වීමෙනුත්, දෙපාර්තමේන්තුව හදුන්වාදී ඇති අලි ඇතුන් වගාවන්ට පැමිණිම වැළැක්වීමට තුඩු දෙන මී මැසි පාලනය, හන වගාව , දෙහි වගාව වැනි ජීව වැට ක්‍රමය පුළුල්ව ක්‍රියාත්මක කිරීමෙනුත්, යම් පමණකට හෝ මෙම ගැටුම පාලනය කර අලි ඇතුන් හා මිනිසුන් අතර සහජීවනය ගොඩනගා ගැනීමට ජනතාවට සිය දායකත්වය සැපයිය හැකියි. මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කර ආකල්ප වෙනස් කිරීම සඳහා වනජීවී ක්ෂේත්‍රයට අදාල නිලධාරීන් පමණක් නොව විවිධ ක්ෂේත්‍රවලට අදාළව ග්‍රාමීයව සිටින සියලුම රජයේ නිලධාරීන් ද වගකීමෙන් හා වගවීමෙන් කටයුතු කළ යුතුව පවතී.

     අලි මිනිස් ගැටුම මැඩීම උදෙසා මාධ්‍යයේ කාර්යභාරය


    මෙරට ජනමාධ්‍ය වාර්තාකරණය තුළ ගවේෂණාත්මක වාර්තා කිරීම් මෙන්ම සහජීවනය උදෙසා දැනුවත් කිරීම් පවතින්නේ ඉතා අල්ප වශයෙන්. තිරසර සංවර්ධන උදෙසා ජනතාව පෙළඹවීමේ දී ජනමාධ්‍ය කාර්යභාරය මෙම ගැටුම සම්බන්ධයෙන් මැදහත් ස්වරූපයක් ගත යුතුයි. එහෙත් අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් පවතින මාධ්‍ය වාර්තා තුල නිතර දකින්නට ලැබෙන්නේ හුදු සිදුවීම් වාර්තාකරණයක් පමණි. එම වාර්තාකරණයන් තුළද ජනතාවට සිදුවන අපහසුව හා හානිය පිළිබඳව විග්‍රහ කරන අන්තය පුළුල්ව පවතී. ඉන් ඔබ්බට ගොස් තොරතුරු සම්පාදනය සමබර කිරීම හා දැනුම් සම්පාදනය කිරීමේ කාර්යභාරය ද ජනමාධ්‍ය හරහා නිරන්තරව සිදුකළ යුතුව පවතී. ජනතාවට ජනමාධ්‍ය මගින් සහය ලබාදීම යනු ඔවුන් නිසි ඥානයක පිහිටුවීමට කටයුතු කිරීමයි. ඒ සඳහා මැදිහත් කරුවෙකු ලෙස කටයුතු කිරීමේ සම්ප්‍රදායක් ජනමාධ්‍ය තුළින් මතුවීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිය කාර්යභාර්ය මැනවින් ඉටු කිරීමට ඉහළ පිටුබලයක් සපයනු ඇති.

     

    විශේෂ ස්තුතිය
     වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරුන් වන මංජුල අමරරත්න හා රන්ජන් මාරසිංහ යන මහත්වරු

     පරිසරවේදී නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා
     වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාප භාර සහකාර අධ්‍යක්ෂ ඩබ්. එම්.කේ චන්ද්‍රරත්න මහතා

    සටහන
    ෂෙල්ටන් බණ්ඩාර
    අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිලධාරී
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya