අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආදරයේ ක්ෂීරයෙන් දරුවන් සනසමු..!

    අගෝස්තු 02, 2023

     

    ලෝක මවුකිරි දීමේ සතිය අගෝස්තු 01 සිට 07 දක්වා..

    ලොව පවතින්නේ හිරුගේ රැස් වලින් සහ මවගේ කිරි වලිනි... මෙය රුසියානු මහාගත්කතුවරයෙකු වූ මැක්සිම් ගෝර්කිගේ සුප්‍රකට කියමනක්.. රුහිරු කිරට හරවන මාතෘත්වය වූ කලී  ලොව අන් කිසිවකට අසමසමයි...

    නම මසක් සිය කුසයෙහි පෝෂණය ලබන බිළිඳුන් මෙලොව එළිය දුටු තැන් පටන් මවක් මවු කිරෙන් පෝෂණය කිරීම අරඹනවා.. මෙම මවුකිරි දීම නම් වන උතුම් වැදගත් කර්තව්‍ය පිළිබඳ අවදානය යොමු කරමින් ලෝක මවුකිරි දීමේ සතියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

    මව්කිරි දීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් මව්කිරි දීම සහ එහි වාසි පිළිබඳව දැනුවත් කිරීම සඳහා සෑම වසරකම අගෝස්තු 01 සිට 07 දක්වා ලෝක මව්කිරි දීමේ සතිය සමරනු ලබනවා. 2023 ලෝක මව්කිරි දීමේ සතියට සමගාමීව ශ්‍රී ලංකාව තුළ ජාතික මව්කිරි දීමේ මාසය ලෙස අගෝස්තු මාසය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

    මව්කිරි දීම මගින් ළදරුවන්ට ඔවුන්ගේ ජීවිතයේ හොඳම ආරම්භය ලබාදෙයි. එමෙන්ම මවට, පවුලට සහ රටට මව්කිරී දීම මගින් අතිමහත් ප්‍රතිලාභ අත්වෙයි. දරු උපතක් සිදුවූ විට දරුවා ඉපදී පළමු පැය ඇතුළත ඉක්මණින්ම දරුවාට මවුකිරි දීම ඇරඹිය යුතුය. එමෙන්ම පළමු මාස 06 තුළ දරුවාට අවශ්‍ය වන සෑම විටකම මවුකිරි පමණක් ලබාදීම වැදගත් වෙයි.එමෙන්ම දරුවාගේ වයසට නිසි අමතර ආහාර සමග වයස අවුරුදු 02ක් හෝ ඊට වැඩි කාලයක් මවුකිරි ලබාදීම සිදුකළ යුතුය.

    මෙම වසරේ ලෝක මව්කිරි දීමේ සතියේ තේමාව වනුයේ  “වැඩට යන දෙමාපියන්ට සහනදායී වෙනසක් - මව්කිරි දෙන්න සවියක්” යන්නයි. මෙමගින් ලොව පුරා දෙමාපියන්ට රැකියාවේ නියැලෙන අතරතුර මව්කිරි දීම සඳහා දිරිමත් කිරීමටත්, අනුබල දීමටත්, ඔවුන්ගේ අවශ්‍යතා වලට සහාය වීමට රජයන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, සේවා ස්ථාන සහ ප්‍රජාවන්ගේ වගකීම පිළිබඳවද ඉසිමතු කරයි.

    මව්කිරි දීම මගින් බිළිඳාට උසස්ම පෝෂණය හිමිවන අතර එය බුද්ධි වර්ධනයටද ඉමහත් රුකුලක් වෙයි. රෝග ආසාදන අඩු කරන අතරම ලියුකේමියා රෝගී තත්ත්වය සඳහා පවතින අවදානමද අඩු කරයි. පසුකාලීනව එම දරුවන්ට බෝ නොවන රෝග ඇතිවීමේ අවධානමද අඩු කරයි.

    මව්කිරි දීම මගින් ළදරුවාට මෙන්ම මවුවරුන්ටද වාසි අත්පත් වෙයි. මවට, පියයුරු සහ ඩිම්බකෝෂ පිළිකා, දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරන අතරම මව්කිරි දීම මව සහ දරුවා අතර සම්බන්ධතාවය හොඳින් ගොඩනගමින් දරුවාගේ සහ මවගේ මානසික සෞඛ්‍යයට සහාය වෙයි. මෙලෙසම නිරෝගී මව සහ ළදරුවා පවුලේ සතුට වැඩි කරන අතර ආර්ථිකයද වැඩිදියුණු කරයි.

    මව්කිරි දීම මගින් රටට, ලෝකයට මෙන්ම ප්‍රජාවටද වාසි සැලසෙයි. සෞඛ්‍ය සම්පන්න සහ ඵලදායී ශ්‍රම බලකායක් සඳහා මව්කිරි දීම දායක වෙයි. මව්කිරි දීම ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ සහාය දීම තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට මහෝපකාරී වෙයි.

    රැකියා ස්ථාන වල ඇති බාධක ඉවත්කිරීම සහ ප්‍රසූතියෙන් පසු වැඩට යන දෙමාපියන්ට මවුකිරි දීමට සහාය වීම සඳහා අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීම මෙම වසරේ ජාතික මවුකිරි දීමේ මාසය ඉලක්ක කරගෙන ඇත.

    සෞඛ්‍ය සේවකයින්, පියවරුන් සහ පවුලේ සාමාජිකයන්, සේවා යෝජකයින්, සේවා ස්ථාන වල සගයන්, ප්‍රජා සාමාජිකයින්, මව් හවුල්, තරුණ තරුණියන්, පරිසරවේදීන්, මාධ්‍ය, වෘත්තීය සමිති, විද්වතුන් ඇතුළු සමාජයේ සෑමදෙනාම මවුකිරි දීම සඳහා මිත්‍රශීලී සහායක දාමයක් ලෙස එක්විය යුතු බවද මෙම ලෝක මවුකිරි දීමේ සතියේදී අවධාරණය කරයි.

    මවකගේ උතුම්ම වත්කමින් දරුවන් පෝෂණය කරමු... ආදරයේ ක්ෂීරය වන මවුකිරෙන් දරුවන් සනසමු..

     

    විස්තරය ලෝක මව්කිරි දීමේ සතියට සමගාමීව අද (02) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුව ඇසුරෙනි.

     

    සටහන - පූර්ණා පුණ්‍යමලී නාායක්කාර.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya