මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විසිතුරු මත්ස්‍ය අපනයනයෙන් ඉතිහාසයේ වැඩි ම ආදායමක්

    නොවැම්බර් 21, 2014

    ගෙවී ගිය වසර 3 තුළ විසිතුරු මත්ස්‍ය ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමටත්, ඔවුන්ට දිරිය ලබාදීමටත් ගත් පියවර නිසා 2013 දෙසැම්බර් 31 වන විට විසිතුරු මත්ස්‍ය අපනයනයෙන් ඉතිහාසයේ වැඩි ම අපනයන ආදායම ලබාගැනීමට හැකිවුණ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.


    එය රු.මිලියන 1,383ක් වුණා. මෙම වැඩිවීම ප්‍රතිශතයක් ලෙස ගතහොත් 50%කටත් වඩා වැඩි වෙනවා. මගේ ඉලක්කය වන්නේ වර්ෂ 2014 අවසාන වන විට මෙය රුපියල් මිලියන 1600 දක්වා වැඩි කිරීමත්, ඉන් පසුව 2015 දී  රුපියල් මිලියන 2000ක් හෙවත් රු. බිලියන 2 දක්වා වර්ධනය කිරීමත් බව ඔහු කීය.

    ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය හරහා දැනටමත් මේ පිළිබඳ ව යෝධ වැඩපිළිවෙළක් ආරම්භ කරලා තියෙනවා.  දිවි නැඟුම එක්ක එකතුවෙලා කුඩා ගෘහ කර්මාන්තයක් ලෙස විසිතුරු මත්ස්‍ය නිෂ්පාදනය ව්‍යාප්ත කරමින් සිටිනවා. ලෝක අපනයන වෙළෙඳපොළට විසිතුරු මත්ස්‍යයින් අපනයනය කරන්නේ 2.7%ක් පමණ ප්‍රමාණයක්. අපි එය ඉදිරියට ක්‍රමානුකුලව වර්ධනය කරමින් 5% දක්වා වැඩි කර ගැනීමට අපේක්ෂා කරනවා. ඒ වගේ ම විවිධ රටවල්වල අලුත් අපනයන වෙළෙඳපොළවල් සොයාගෙන යාමටත් බලාපොරොත්තු වෙනවා යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කොළඹ ගලධාරි හෝටලයේ පැවති ශ්‍රී ලංකා විසිතුරු මසුන් පිළිබඳ ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයේදීය.

    ලෝක වෙළෙඳපොළෙ හි විසිතුරු මසුන් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 355ක පමණ ඉල්ලුමක් පවතී. එයින් ශ්‍රී ලංකාව සපයනු ලබන්නේ ඩොලර් මිලියන 10ක් පමණ වන විසිතුරු මසුන් ප්‍රමාණයකි. මින් පැහැදිලි වන්නේ විසිතුරු මත්ස්‍ය අපනයනට පවතින දීප ව්‍යාප්ත වෙළෙඳපළේ ප්‍රමාණය වේ. එම නිසා අප වැනි රටක ජනතාව විසිතුරු මත්ස්‍ය වගාවට දිරිමත් කිරීමෙන් ලෝක වෙළෙඳපොළෙන් සුවිශාල අපනයන ආදායමක් ලැබිය හැකියි. මේ නිසා ම ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය මඟින් රට පුරා ධීවර දිස්ත්‍රික්ක 26ම ආවරණය වන පරිදි ගෘහ කර්මාන්තයක් ලෙස විසිතුරු මත්ස්‍ය වගාව දීප ව්‍යාප්ත කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

    විසිතුරු මත්ස්‍ය කර්මාන්තය තුළින් ප්‍රධාන ලෙස අපනයනය කරන මත්ස්‍ය වර්ග වන්නේ ගප්පි (Guppies), ස්වොඩ්ටේල් (Sword tails), ප්ලෙටිස් (Platys), බාබ්ස් (Barbs), ටෙට්රාස් (Tetras), ඒන්ජල් (Angles), ගුරාමි (Guramis), කැට්ෆිෂ් (Cat fishes) ඇතුළු මත්ස්‍ය වර්ගයන්ය. මින් සියයට 60-70ක් පමණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාව අපනයනය කරනු ලබන්නේ ගප්පි වර්ගයේ මත්ස්‍ය විශේෂයන්ය.

    දැනට අප විසිතුරු මත්ස්‍ය වර්ගවලින් 50%කට වඩා අපනයනය කරනු ලබන්නේ ඇමරිකාවටයි. ඉතුරු ප්‍රමාණය ජපානය, ජර්මනිය, එක්සත් රාජධානිය, ප්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, බෙල්ජියම ඇතුළු තවත් රටවල් කීපයකට අපනයනය කෙරෙති. මෙසේ විසිතුරු මසුන් අපනයනය කරනු ලබන සමාගම් 40ක් පමණ අප රටේ තිබේ.

    ශ්‍රී ලංකාව තමයි පළමු වරට විසිතුරු මසුන් ඇති කිරීම විනෝදාංශයක් ලෙස සිදු කරන්නේ. අපේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයට වසර 60ක පමණ ඉතිහාසයක් පවතිනවා. යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙම වෙළෙඳ ප්‍රදර්ශනය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ හා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සංවිධායකත්වයෙන් පැවැත්වුණි. මේ අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ද සහභාගි විය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya