මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ සංවර්ධන කටයුතු ආරක්ෂා කර ගැනීම ජනතාවගේ වගකීමක්

    නොවැම්බර් 12, 2014
    රජයේ සංවර්ධන කටයුතු ආරක්ෂා කර ගැනීම මෙන් ම තමන් විසින් බලයට පත් කර ගන්නා ලද මහජන නියෝජිතයන්ගෙන් සිය ප්‍රදේශයට සේවාවක් ඇති කර ගැනීම මහජනයා සතු වගකීමක් වන්නේ යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතා පවසයි.
     
    බලයට පත් මහජන නියෝජිතයන් වෙත ලබාදෙන විමධ්‍යගත මුදල්වලින් ගම මෙන් ම, සිය ප්‍රදේශය සංවර්ධනය කර ගැනීම ඡන්ද දායකයන් විසින් ඉටුකර ගත යුතු යැයි ඒ මහතා පැවසීය.
     
    මධ්‍යම පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, පළාත් සභා මන්ත්‍රී නීතිඥ අනුරාධ ජයරත්න මහතාගේ යෝජනාවක් පරිදි පාර දෙක, දොරගල ග්‍රාමය සංවර්ධනය කිරීම නිමිත්තෙන් එහි පැවැති සමාරම්භක උත්සවය අමතමින් අග්‍රාමාත්‍යතුමා මේ බව ප්‍රකාශ කළේය.
     
    මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතාගේ ප්‍රතිපාදන මත පාර දෙක- දොරගල ප්‍රධාන මාර්ගය කාපට් යොදා පිළිසකර කිරීම, දොරගල වැව සංවර්ධනය කිරීම, ගොවි ජනතාවගේ ගැටලු විසඳීම, විදුහල සංවර්ධනය කිරීම ඇතුළු යෝජනා රැසක් මේ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
     
    "රජය මගින් වර්තමානයේ දී නගර ආශ්‍රිත ව මෙන් ම ග්‍රාමීය ප්‍රදේශ ද විශාල වශයෙන් සංවර්ධනය කරනවා. එම සංවර්ධන කටයුතු සිදු කරන්නේ මහජනයාගේ සමාජ අභිවෘද්ධිය උදෙසායි. එබැවින් ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක කරන සංවර්ධන ක්‍රම ආරක්ෂා කර ගැනීම ඔබගේ වගකීමක්. ඇතැම් විට රජය විශාල මුදලක් වැය කර සකස් කරන මාර්ග වෙත ජනතාව සිය ඉඩම්වල ජලය හරවන බව අපට නිරතුරුවම දැකිය හැක. එවැනි සිද්ධි නිසා සංවර්ධන කටයුතු ඉතා සීග්‍රයෙන් විනාශයට පත් වෙනවා".
     
    "ඡන්ද දායකයින් වශයෙන් ඔබලාගේ මනාපයෙන් බලයට පත් වූ මහජන නියෝජිතයන්ගෙන් සේවය ලබා ගැනීම ඔබ සතු වගකීමක්. සිය ප්‍රදේශයේ සංවර්ධන යෝජනා ක්‍රම ඔවුන් වෙත ඉදිරිපත් කර ගම සංවර්ධනය කිරීම කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු කර ගත යුතුයි.  අද සංවර්ධනය කරන මෙම දොරගල ප්‍රදේශයේ එළවළු කොළඹ පිහිටි ප්‍රධාන වෙළෙඳ පළ කරා යොමු කරවීම කෙරෙහි අප අවධානය යොමුකර තිබෙනවා.  අතරමැදියන්ගේ සූරාකෑමට ලක්වන ගොවි ජනතාව ආරක්ෂා කර ගැනීම අපගේ වගකීමක්.  අතරමැදියන් රහිත ව කෘෂි භාණ්ඩ ඍජුව වෙළෙඳපළ කරා යොමු කරවීම තුළින් ඉහළ ආදායමක් ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා" යැයි ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    කුඩා තේ වතු නිෂ්පාදකයන් සඳහා මෙහිදී අග්‍රාමාත්‍යතුමා අතින් මූල්‍යාධාර චෙක්පත් පිරිනමන ලදී. මෙම අවස්ථාවට ගම්පොළ ආසනයේ මහජන නියෝජිතයන් රැසක් ද, දොරගල ප්‍රදේශවාසීහු ද සහභාගිව සිටියහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya