මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ගැමි මග නගමු” ග‍්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහනට ඩොලර් මිලියන 800ක්

    නොවැම්බර් 10, 2014

    “මග නැඟුම” ගැමි මග නගමු ග‍්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇ.ඩො. මිලියන 800ක් ලබාදීමට පියවර ගෙන ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය පෙන්වා දෙයි.


    මුළු රට ම ආවරණය වන පරිදි විහිදුණු සම්බන්ධතාවක් ඇති කරලීම සඳහා රටෙහි මාර්ග ජාලය සංවර්ධනය කිරීමේ හා පුනරුත්ථාපනය කිරීමේ අවශ්‍යතාව රජයේ සංවර්ධන ප‍්‍රතිපත්ති රාමුව මඟින් මැනවින් හඳුනාගෙන ඇත. අධිවේගී මාර්ග හා මනාව සම්බන්ධිත වූ ජාතික මහාමාර්ග සමඟින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන මාර්ග ජාලය වැඩිදියුණු කිරීමට සමගාමීව ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජනයා ප‍්‍රධාන මාර්ග ජාලය හා සම්බන්ධ කිරීම සඳහා ග‍්‍රාමීය මාර්ග ජාලය වැඩිදියුණු කිරීමට රජය අපේක්ෂා කරයි. ඒ අනුව ග‍්‍රාමීය කේන්ද්‍රස්ථාන එකිනෙක යාකරමින් ග‍්‍රාමීය මාර්ග සම්බන්ධතාව තහවුරු කිරීම සඳහා ආයෝජන සැලැස්මක් ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කර ඇත. මේ සඳහා ග‍්‍රාමීය ජන කේද්‍රස්ථාන දහසක් පමණ තෝරාගැනීමට අපේක්ෂිතයි. ඒවා එම ප‍්‍රදේශවල ජනගහනය, සංවර්ධන විභවතාව හා ප‍්‍රධාන මාර්ග ජාලයට ඇති දුර යන කරුණු මත පදනම්ව තෝරා ගනු ලබයි. මේ හරහා ජාතික මහාමාර්ග, පළාත් සභා මාර්ග, අතුරු මාර්ග හා පෝෂක මාර්ග ඇතුළුව ප‍්‍රාදේශීය සභා මාර්ග පුනරුත්ථාපනය කිරීම මඟින් ග‍්‍රාමීය කේන්ද්‍රස්ථාන අතර සබඳතාව සහතික කරනු ඇත

    මෙම ව්‍යාපෘතිය දකුණු, සබරගමු, මධ්‍යම, උතුරු මැද, වයඹ යන පළාත් තුළ සහ කළුතර දිස්ත‍්‍රික්කය තුළ ක‍්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මඟින් ඇ.ඩො. මිලියන 800ක ණය මුදලක් ලබාදීමට එකඟතාව පළකර ඇත. මේ සඳහා ඇ.ඩො. මිලියන 106ක මුදලක් රජය විසින් ආයෝජනය කරනු ඇත. සමස්ත ​​ආයෝජන ​වැඩසටහන​ මඟින් ​ග්‍රාමීය මාර්ග කි.මී. 3,106ක් සහ ජාතික මාර්ග කි.මී. 260ක් වැඩිදියුණු කිරීමට ​අපේක්ෂිතය. මින් ග්‍රාමීය ප්‍රවේශ මාර්ග අවුරුදු 3ක් දක්වා නඩත්තු කිරීමට නියමිතය. තෝරා ගත් ජාතික මාර්ග වැඩිදියුණු කිරීම හා නඩත්තු කිරීම අවුරුදු 7ක් දක්වා ද කෙටි තනි මාර්ග කොටස් වැඩිදියුණු කිරීමෙන් අනතුරුව අවුරුදු 3ක් දක්වා නඩත්තු කිරීමට ද අපේක්ෂිතය. මීට අමතරව මාර්ග සංවර්ධනය හා සම්බන්ධ ආයතනයන්හි මාර්ග වත්කම් කළමනාකරණය, ව්‍යාපෘති කළමනාකරණය හා කොන්ත්‍රාත් පරිපාලනය යන අංශයන්ගේ ධාරිතාව වැඩි කිරීම ද මෙමඟින් සිදු කෙරේ.

    මෙම ඇ. ඩො. මිලියන 800ක මුල්‍යයන පහසුකම ආසියානු සංවර්ධන බැංකුව මඟින් අදියර 6කින් ලබාදීමට අපේක්ෂිතයි. පළමු අදියර ඇ.ඩො. මිලියන 100කින් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම අදියර සඳහා රජයේ ආයෝජනය ඇ.ඩො. මිලියන 18කි. මෙමඟින් දකුණු පළාත තුළ ග්‍රාමීය මාර්ග කි.මී. 560ක් සහ ජාතික මාර්ග කි.මී. 130ක් වැඩිදියුණු කිරීම සඳහා වූ ව්‍යාපෘතියේ පළමු කොටස මුල්‍යයනය කරනු ලැබේ. මීට අමතරව දකුණු පළාත තුළ මාර්ග සංවර්ධන නියෝජිත ආයතනවල ධාරිතාව වැඩි කිරීම හා ඉතුරු අදියර යටතේ මූල්‍යයනය කිරීමට අපේක්ෂිත ව්‍යාපෘති සඳහා පූර්ව සැලසුම් සකස් කිරීම සිදුකරනු ඇත.

    මහා මාර්ග, වරාය හා නාවික අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමේ ආයතනය වශයෙන් කටයුතු කරන අතර සමස්ත වැඩසටහන 2024 මාර්තු 30න් අවසන් කිරීමට සැලසුම් කර ඇත.

    මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙනුත් ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික නියෝජිත ශ්‍රී විදෝවතී මහත්මිය ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙනුත් මේ හා සම්බන්ධ වන ණය ගිවිසුම් දෙකක් සඳහා පසුගිය 05දා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේදී අත්සන් තබන ලද බව ද එම අමාත්‍යාශය සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya