අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඛනිජතෙල් ක්ෂේත‍්‍රයේ එජාපය සිදු කළ අදූරදර්ශී ක‍්‍රියා පිළිවෙත නිවැරදි කළ නොහැකියි

    නොවැම්බර් 01, 2014

    ලංකා ඛනිජතෙල් සංස්ථාව ආරම්භ වන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් යටතේ වුවත් එක්සත් ජාතික පක්ෂය කළේ ඛනිජතෙල් සංස්ථාව කොටස් තුනකට කඩා පෞද්ගලීකරණයට මූලික අඩිතාලම දැමූ බව යැයි ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා  මහතා පැවසීය.


    එක්සත් ජාතික පක්ෂ රජයක් පැවතියේ නම් මේ වන විටත් ඛනිජතෙල් ඒකාධිකාරය සමඟ රටේ ඉන්ධන අවශ්‍යතාව සපුරන්නේ පෞද්ගලික අංශයයි. මේ නිසා රටට විශාල අර්බුදයකට මුහුණ දීමට සිදු විය හැකියි. අතීතයේ එජාපය සිදු කළ මෙම අදූරදර්ශී ක‍්‍රියා පිළිවෙත නිවැරදි කිරීමට නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

    අමාත්‍යතුමා මේ අදහස් පළ කළේ පසුගියදා ලංකා ඛනිජතෙල් සංස්ථා නිදහස් සේවක සංගමය සංවිධානය කළ සේවක සංගම්  නියෝජිත හමුවක් අමතමිනි.
     
    ත‍්‍රීකුණාමලය තෙල් ටැංකි 101ක් අවුරුදු 35කට බදු දීමට කටයුතු කළා. ඛනිජතෙල් සංස්ථාව ත‍්‍රීකුණාමලය මෙහෙයුම් කටයුතුවලින් සම්පූර්ණයෙන් ම අයින් කර ඇතැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය. කොළඹ තෙල් ගබඩා කිරීම පංගු ක‍්‍රමයට ලබා දී ඇතැයි ද 2004දී අතිගරු ජනාධිපතිතුමාගේ ජයග‍්‍රහණයත් සමඟ ඛනිජතෙල් කර්මාන්තය සුරක්ෂිත වූ බවත් ඔහු පැවසීය.

    අතිගරු ජනාධිපතිතුමා බලයට පත්නොවන්නට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ඛනිජතෙල් සංස්ථාවේ රජය සතු කොටස් ශීඝ්‍රයෙන් පහළ දැමීමට කිසිදු පැකිලීමකින් තොරව කටයුතු කරන බව අමාත්‍යතුමා පෙන්වා දෙන ලදී.

    එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණිය හොත් ඛනිජතෙල් සංස්ථාව සුරක්ෂිත කරන බවට පොරොන්දුවක් එක්සත් ජාතික පක්ෂට ලබාදීමට නොහැකි වී ඇති බවත් එසේ පොරොන්දු වීමට නොහැකි වී ඇත්තේ ජාතික ව්‍යාපාර පෞද්ගලීකරණය කිරීමේ එක්සත් ජාතික පක්ෂ ප‍්‍රතිපත්ති තවම ක‍්‍රියාත්මක කරන නිසා බවත් අමාත්‍යතුමා පැවසීය. නමුත් රටේ මර්මස්ථාන රජය සතුවිය යුතු බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මතයයි. ඒ නිසා ඛනිජතෙල් කර්මාන්තය, දුම්රිය, ප‍්‍රවාහන, සෞඛ්‍ය, විදුලිය, ජලය, අධ්‍යාපනය වැනි මර්මස්ථාන සුරක්ෂිත කිරීම රජයේ ප‍්‍රමුඛ කාර්යයක් වශයෙන් සලකා කටයුතු කරන බවත් ඔහු විසින් පෙන්වා දෙන ලදී.

    අනෙකා පිළිබඳ ව අවිශ්වාසය හිත්වල පැවති යුගයක් රටේ පැවතුණි. ජාතික වශයෙන් පැවති එම අවිශ්වාසය රට දරුණු අගාධයකට ඇද දමා ඇති බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා අද අවිශ්වාසය වෙනුවට විශ්වාසය ගොඩනගා ඇති නිසා නිදහස් රටක් වශයෙන් සැමට එකට සිතීමට අවකාශය නිර්මාණය වී ඇති බව ද පැවසීය. යාපනයට, නැගෙනහිරට, කිලිනොචිචියට, මන්නාරමට හෝ රටේ  ඕනෑම තැනකට ඕනෑ ම කෙනෙකුට තමන්ට හිතෙන  ඕනෑම මෙහොතක යාමට හැකි  ලෙස මාර්ග පහසුකම් දියුණු කර ඇත. තමා වරක් මඩකලපුව දිසාපති කාර්යාලයට ගියේ ගුවන් හමුදා ගුවන් යානයකින් ගොස් නැවත හමුදා ආරක්ෂාව යටතේ බවත් පෙන්වා දුන් ඔහු එම යුගය දැන් නිමා වී ඇතැයි ද පැවසීය.

    දකුණේ සහ උතුරේ ජනතාවට මහජන නියෝජිතයෙකු හමුවීමට නොහැකි කාලයක් තිබුණා. දෙපාර්ශවය අතර ආරක්ෂාව සඳහා පරතරයක් පැවතිණි. රටේ ජනාධිපතිවරයෙකු වූ පේ‍්‍රමදාස මහතා අමානුෂික ආකාරයෙන් මරා දැමූ බවත් ආරක්ෂාව අතින් ඉහළින් ම සිටින ඉන්දියාවේ අගමැතිවරයා මරා දැමූ බවත් එවැනි රුදුරු ත‍්‍රස්තවාදයකට එරෙහි ව අයෝමය පුරුෂයකු වශයෙන් අතිගරු ජනාධිපතිතුමා සෑම කෙනෙක් ම මෙහෙයවා මේ ජයග‍්‍රහණය ලබාගත් බවත් ඔහු කීය.
      
    නමුත් තාමත් ත‍්‍රස්තවාදයේ තර්ජන හා ගර්ජනවලින් පිඩාවිඳින රටක් වශයෙන් දැක්වූ එතුමා ජාත්‍යන්තර බලපෑම් සහ ඩයස්පෝරාවේ මෙහෙයුම් මේ වන විට කඩිනම් වී ඇති බවත් යුරෝපයේ එල්.ටී.ටී.ඊ සංවිධානය මෙහෙයුම් අරඹා ඇති බවත් පෙන්වා දුන්නේය. යුරෝපා සංගම් අධිකරණය, එල්ටීටීඊ තහනම ඉවත් කිරීම ඔවුන්ට මනා රුකුලක් වී ඇති බවත් පැවසීය. එල්ටීටීඊ ක‍්‍රියාකාරකම් ලෝකය තුළ ඉවර වී නොමැත. යුරෝපා සංගමයට අයත් රටවල එල්ටීටීඊය නමින් ඉදිරියේ දී කටයුතු කිරීමට ඉඩක් තිබිය හැකියි. ඒ නිසා සියලු ජාතීන් කැටි කොට තබාගත හැකි නායකත්වයක් රටට අවශ්‍යයි. ඒ සඳහා විධායක ජනාධිපති ක‍්‍රමය හැර වෙන පාලන ක‍්‍රමයක් නොමැති බවත් විධායක ජනාධිපති ධූරය තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත් ඔහු කීය.

    අද විපක්ෂය, අතිගරු ජනාධිපතිතුමා දිනා දුන් නිදහස භුක්ති විඳිමින් වේදිකා දෙදරවමින් කතා කරනු ඇත. මේ කථිකයන්ට අනුව ජනාධිපතිතුමා කිසිදෙයක් කර නැතැයි ද පෙන්වා දෙන එජාපට අනුව මෙවර අයවැය බොරුවක්, ජනතා විමුක්ති පෙරමුණට අනුව අයවැය අල්ලසක් වී ඇත. අතිගරු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා වශයෙන් සෑම අංශයකටම සහන ලබාදෙමින් ආර්ථික සංවර්ධනයේ ප‍්‍රතිලාභ ජනතාවට ලබාදී තිබේ. යුරෝයේ ආර්ථිකය එකතැන පල්වෙන ආකාරයෙන් පවතිනු ඇත. ඇමරිකාවේ ආර්ථික වර්ධනය පසුපසට ගමන් කරන බවත් පෙන්වා දුන් අමාත්‍යතුමා අපේ රට වසර ගණනාවක් ඉහළ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන රටක් බවට පත් වී ඇති බව කීය. රටේ සාමය, දේශපාලන ස්ථාවරභාවය නිර්මාණය කළා සේම රට සංවර්ධනය කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා වශයෙන් ද රටේ නායකයා වශයෙන් ද අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය ඇගැයුමට ලක් කළ යුතුයි. ඒ නායකත්වය ආරක්ෂා කළ යුතුයි. එතුමා රටේ අනාගතය දෙස බැලීමට මේ කෘතහස්ථ දේශපාලන නායකත්වය සමඟ ඉදරි දශකය රට ගමන් කළ යුතු බව ඔහු කීවේය.  

    ඛනිජතෙල් සංස්ථාවේ සභාපති එස්. අමරසේකර, ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා, ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගම් ලේකම් තිස්ස දේවේන්ද්‍ර, ඛනිජතෙල් නිදහස් සේවක සංගමයේ නියෝජිතයෝ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ

     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya