මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළගුණ දන්නා ජනතාව රට ගැන නිවැරදි තීරණයක් ගන්නා බව විශ්වාසයි

    ඔක්තෝබර් 25, 2014

    ජනතා ගැටලු පිළිබඳ නිසි අවබෝධයක් සහිත ජනතාවාදී නායකයෙක් අපට සිටින බවත් කළගුණ දන්නා ජනතාව රට ගැන නිවැරදි තීරණයක් ගන්නා බවට විශ්වාසයක් තිබෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා අහංගම, මිදිගම ප‍්‍රදේශයේ දිවි නැඟුම වැඩසටහනට සමගාමී ව ප‍්‍රදේශවාසීන් වෙත එළවළු සහ පලතුරු පැළ, බීජ වර්ග බෙදා දීමේ උත්සවයකට සහභාගී වෙමිනි.

    මෙහිදී අමාත්‍යතුමා පැවසුවේ වසර ගණනාවක් තුළ දිවි නැඟුම වැඩසටහන හරහා සුවිශේෂී ජයග‍්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට ජනතාවට මෙන් ය රජයට ද හැකි වූ බවයි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය. "විශේෂයෙන් ගෙවත්තේ ඉඩකඩ ඇති ආකාරයට යමක් වගාකර වසවිස නැති නැවුම් ආහාර සපයා ගැනීමට දිවි නැඟුම වැඩසටහන උපකාරී වී තිබේ. වර්තමානයේ බොහෝ විට අපට මිලදී ගැනීමට ලැබෙන්නේ වසවිස සහිත ආහාරයි. මඤ්ඤොක්කා පෙති බඳින තාච්චියට ප්ලාස්ටික් බෝතලයක් දැමූ විට එය තෙල් සමඟ උණු වී මඤ්ඤොක්කා පෙතිවලට උරාගනී. මේ නිසා වසරක් ගත වූ පසුත් මඤ්ඤොක්කා පෙති පෙඟෙන්නේ නැත. ආනයනය කරන ඇපල්, මිදිවල පවා අධික වසවිස අන්තර්ගත වී තිබේ. කල්තබා ගැනීමට අනුගමනය කරන සෞඛ්‍යයට අහිතකර ක‍්‍රමවේද නිසා අපගේ ශරීරයට විවිධ විෂ වර්ග ඇතුල්වීමේ ඉඩකඩ වැඩිය.

    මෙම දිවි නැඟුම ජාතික වැඩසටහන මඟින් මූලික අරමුණ ලාභදායී ලෙස එළවළු ආහාරයට ගැනීමේ අවස්ථාව උදා කිරීම පමණක් නො ව අපේ රටට නීරෝගී දරු පරපුරක් දායාද කිරීමයි. සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩි වශයෙන් මූල්‍ය ප‍්‍රතිපාදන වෙන් කරනු ලබන්නේ බෝ නොවන රෝගවලට ප‍්‍රතිකාර කිරීම සඳහාය. එනම් දියවැඩියාව, අධික රුධිර පීඩනය ආදී රෝගාබාධ අද වන විට වසංගතයක් මෙන් ව්‍යාප්ත වෙමින් පවතී. මෙයට ප‍්‍රධාන හේතුව අපගේ ආහාර රටාවයි. දිවට දැනෙන රසයට මුල් තැනක් දෙමින් අප ගන්නා ආහාර නිසා අපගේ සෞඛ්‍ය පිරිහී අප රෝගීන් බවට පත් වේ. එක් යුගයක මුකුණුවැන්න, ගොටුකොළ පවා පිටරටින් ගෙන්වීමට සිදු විය. ආහාර පිටරටින් ගෙන්වා ලාභෙට ගත හැකි බවට එදා තිබුණ මතය පරාජය කරමින් මේ වන විට අපට අවශ්‍ය දේ අපේ මහ පොළවේ වගා කර ආහාරයට ගත හැකි බව සනාථ කර තිබේ.

    හාල් හිඟයක් ඇති වී හාල් මිල වැඩි වූ අවස්ථාවලදී පවා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පිටරටින් හාල් ගෙන්වීමට අවසර ලබා දුන්නේ නැත. අප දැන් අහරින් ස්වයංපෝෂිතව ඇති නිසා නැවතත් හිඟාකන තත්ත්වයට පත්විය යුතු නැත. ජනහිතකාමී නායකයෙකු ලෙස අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනතාවගේ සිතුම් පැතුම් ඉටු කළේය. ඇතැමුන් ජනාධිපතිතුමාට නැවත වරක් ජනපතිවීමට නොහැකි බවට වහසි බස් දොඩති. මෙලෙස කඩපිල්වල නීතිය විග‍්‍රහ කිරීමෙන් ඵලක් නැත. ඔවුන් පදනමක් නැති මත ඉදිරිපත් කළත් බුද්ධිමත් ජනතාව ඒවාට මුලා නොවෙති. රට ආරක්ෂා කළ නායකයා ආරක්ෂා කරනවාද? නැතිනම් පාවා දෙනවාද? යන තීරණය ජනතාව සතුය. දිවි නැඟුම වැඩසටහනින් ලබා දෙන පැළ සහ බීජ වර්ග උපයෝගී කර ගනිමින් රටට දැයට නීරෝගී දරු පරපුරක් බිහිකරලීමේ මෙහෙවරට දායක විය යුතු බව" මෙහිදී අමාත්‍යතුමා සඳහන් කළේය.

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya