අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධනය පිළිබඳව වාර්තා කිරීමේදී සැබෑ තොරතුරු ජනතාවට ලබාදීම සංවර්ධන කටයුතුවලට අත්වැලක්

    අගෝස්තු 12, 2014
    මාධ්‍යවේදීන් සංවර්ධනය පිළිබඳව වාර්තා කිරීමේදී සැබෑ තොරතුරු ජනතාව අතරට ගෙන යාමට සෑම විටම සැලකිලිමත් විය යුතු බවත්, එය සංවර්ධන ක්‍රියාවලියට අත්වැලක් සපයන බවත් සාම්ප්‍රදායික හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ අදහස පැවසුවේ ඊයේ (11) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ප්‍රදේශීය මාධ්‍යවෙදීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි. 
     
    මෙම සම්මන්ත්‍රණය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන දිස්ත්‍රික් සංවර්ධනය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් පියවරක් ලෙසින් පැවැත්විණි.
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, මාධ්‍යවේදීන් නිරතුරුව ම සත්‍ය ලෙස ම වාර්තා කිරීමට සැලකිලිමත් විය යුතුයි. එය වෘත්තීයේ වගකීමක්ද වෙනවා. නමුත් අද වන විට ඇතැම් මාධ්‍ය සත්‍යය පෙනි පෙනී සාවද්‍ය කරුණු ප්‍රසිද්ධ කරනවා. එයින් සිදුවන්නේ අනවශ්‍ය ප්‍රශ්න ඇති වීමයි. සංවර්ධනය පිළිබඳව සාකච්ඡා කිරීමේදී සැබෑ තොරතුරු මත පදනම්ව තොරතුරු ලබාදීමෙන් ජනතාව එම සංවර්ධනය සමඟ ඒකාබද්ධ කර ගන්න පුළුවන්. එය අවශ්‍ය කරුණක්. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවත්වන මෙම සම්මන්ත්‍රණ මාලාව සංවර්ධන ප්‍රවෘත්ති වාර්තාකරණයට ලොකු රුකුලක් වනු ඇතැයි මා සිතනවා.
     
    මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූ උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා පැවසුවේ, 2009 වසරේ මැයි මාසයේදී ජනාධිපතිතුමා මෙම පළාතේ සංවර්ධන කටයුතු අප වෙත පවරමින් මෙහි ජනතාවට ඉතා හොඳ පහසුකම් ඇතිව නව ජීවිත ගත කිරීමට අවශ්‍ය පහසුකම් සැපසීමට උපදෙස් දුන්නා. ඒ අනුව වසර 05ක් තුළ  මෙම ප්‍රදේශය ගොඩනංවා තිබෙනවා. එම තත්ත්වය වඩාත් හොඳින් තහවුරු කරන්නට ජනතාවගේ සිතුම් පැතුම් සකස් කරමින් මාධ්‍යවේදීන් ලබා දෙන සහයෝගය අතිශයින්ම වැදගත් කොට අප සලකනවා. ඉදිරියේදීත් එම සහයෝගය අප අපේක්ෂා කරනවා.
     
    මෙම සම්මන්ත්‍රණයට එක් වූ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ලංකාව පුරා දිස්ත්‍රික්කවල මෙබඳු වැඩමුළු සංවිධානය කිරීමට කටයුතු යොදා තිබෙනවා. සංවර්ධනය හා මාධ්‍ය අතර සම්බන්ධතාව තහවුරු කිරීමත්, අප එකිනෙකා අතර සහයෝගීතාව වර්ධනය කිරීමත් එහි අරමුණයි. යාපනය දිස්ත්‍රික්කයේ පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණය වඩා වැදගත්. මේ යුගය බුද්ධිමත් නව මිනිසෙක් නිර්මාණය කරන කාලයක්. අතීතයේ අප අතර වූ වැරදි වැටහීම් නිවැරදි කර ගනිමින් සමාජය දෙස අලුතින් බලමින් අප නව පුළුල් දැක්මක් වර්ධනය කර ගත යුතුයි. ඒ සඳහා මාධ්‍යයේ නව ප්‍රවණතා භාවිත කළ යුතුය. වඩාත් වැදගත් වන්නේ මාධ්‍ය හරහා අපගේ සහෝදරත්වය හා සංස්කෘතික, ආගමික හැදියාව බෙදා හදා ගැනීමයි.
     
    සංස්කෘතියක වටිනා ම ලක්ෂණය වන්නේ සහෝදර සංස්කෘතිය නිවැරදිව හඳුනා ගැනීම බව විද්වත් මතයයි. ඒ අනුව දැන් අන්තර් සංස්කෘතික අධ්‍යයනය පිළිබඳ හැදෑරීම ප්‍රචලිත වී තිබෙනවා. යාපනය ප්‍රදේශයේ අතිශය වටිනා සංස්කෘතික හර පද්ධතීන් තිබෙනවා. ඒවා අප අනෙක් සහෝදර ජනතාව අතරට ගෙන යා යුතුයි. මා දුටු පරිදි මෙම ප්‍රදේශය අද කොළඹ නගරය සංවර්ධනය කෙරෙන ආකාරයට ම සංවර්ධනය කෙරෙමින් තිබෙනවා. සංවර්ධනය රටේ සෑම පළාතක ම සමසේ ගලා යාම ඉතාමත් සතුටට කරුණක්. අප විශ්වාස කරනවා රටේ පොදු මිනිසුන් අතර කිසිදු බෙදීමක් නැති බව. නමුත් මාධ්‍යට පුළුවන් ජනප්‍රිය ලෙස බෙදීම් ඇති කරන්න. අපට අවශ්‍ය එවැනි විනාශකාරී මාධ්‍ය භාවිත නොව දැනුවත් වූත් සාමකාමී වූත්, සැබෑ මාධ්‍ය භාවිත. අපරාධ, සිය දිවි නසා ගැනීම් නොව සහෝදරත්වයේ හා දියුණුව ගැන කතා කරන බුද්ධිමත් මාධ්‍ය හැසිරවීමක් අප ගොඩනඟා ගත යුතුයි. ඒ සඳහා ඔබ ක්‍රියාත්මක වනු ඇතැයි අප අපේක්ෂා කරනවා.
     
    මෙම සම්මන්ත්‍රණයේදී යාපනය දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමෙයිනායගම් මහතා තම දිස්ත්‍රික්කය තුළ සිදු කළ සංවර්ධන ව්‍යාපෘතීන් හා ඒ ව්‍යපෘතීන්වල ක්‍රියාත්මක තත්ත්වය පිළිබඳව මාධ්‍යවේදීන්ට පුළුල්ව පැහැදිලි කිරීමක් සිදු කළේය. ඒ අනුව යාපනය දිස්ත්‍රික්කය සඳහා සෙසු දිස්ත්‍රික්කවලට සාපේක්ෂව ඉතා ඉහළ ප්‍රතිපාදන ප්‍රමාණයක් රජය විසින් වෙන් කර දෙනු ලැබ තිබුණ බවත් එම මුදල් නිවැරදිව ජනතාවට ඉහළම ප්‍රතිලාභයක් ලැබෙන පරිදි සංවර්ධන කාර්යයේ යොදවා ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
     
    මෙහිදී අදහස් දැක්වූ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (මාධ්‍ය) වසන්තප්‍රිය රාමනායක මහතා අදහස් දක්වමින් පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සෑම දිස්ත්‍රික්කයක් පාසාම මෙම සම්මන්ත්‍රණ පවත්වනුයේ සංවර්ධනය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම පමණක් නොව මාධ්‍යවේදීන් අතර සුහදතාව වර්ධනය කිරීම අරමුණ කර ගෙනයි. මෙම සම්මන්ත්‍රණයට විශාල මාධ්‍යවේදීන් පිරිසක් සහභාගී වීම අපගේ සතුටට කරුණක් වෙනවා. ඇත්තෙන්ම ජාතීන් අතර සහයෝගීතාවයෙන් තොරව අපට සංවර්ධනය ගැන කතා කරන්නට නොහැකියි. විශේෂයෙන් ම යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධනයට ජාතීන් අතර සාමය හා සංහිඳියාව ඉතා වැදගත් වෙනවා. 2009 -මැයි  19වනදා තිබූ තත්ත්වය නොවේ අද යාපනයේ තිබෙන්නේ. එදා යාපනයේ ඇතැම් ප්‍රදේශවල ජලය, විදුලිය වැනි මූලික පහසුකම් පවා අවම මට්ටමක පැවතුණත් අද එම තත්ත්වය වෙනස් වී තිබෙනවා.
     
    අද දකුණේ හඬක් නැගෙනවා යාල් දේවිය කොළඹින් නො ව මාතරින් ආරම්භ කරන්න කියලා. දකුණේ ජනතාව කැමැත්තෙන් සිටිනවා යාපනයේ ජනතාව සමඟ සුහදතාව වර්ධනය කර ගන්න. ඒ අනුව යුද්ධයෙන් විනාශ වූ දුම්රිය මාර්ගය අද නැවත ගොඩනැංවන්නේ උතුර හා දකුණ යා කරන සහෝදරත්වයේ පාලම ලෙසයි.
     
    මෙහිදී සංවර්ධන ක්‍රියාදාමය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේදී ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ කාර්යය භාරය මැයෙන් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යය එස්. රගුරාම් මහතා විශේෂ දේශනයක් ද පැවැත්විය.
     
    ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර්, නියෝජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ඒ. හිල්මි මොහොමඩ් යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.
     
    ECB/NG/RU_cmu
     
    JAFFNA SEMINA 1
     
     
    JAFFNA SEMINA 2
     
    JAFFNA SEMINA 3
     
    JAFFNA SEMINA 4
     
    JAFFNA SEMINA 5
     
    JAFFNA SEMINA 6

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya