අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ලේ හෙක්ටයාර් 794ක් ගින්නෙන් විනාශ වේ

    අගෝස්තු 12, 2014
    බදුල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්කයේ කැලෑ බිම් හෙක්ටයාර් 794ක් ගිනිගෙන විනාශ වී ඇතැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි වන නිලධාරී (බදුල්ල) ප්‍රියන්ත සේනාරත්න මහතා පැවසීය.
     
    පසුගිය දිනවල ඇති වූ කැලෑ ගිනි හේතුවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන වගා හෙක්ටයාර් 244 ක් පමණ ද, වතු සමාගම් සතු ඉඩම් හෙක්ටයාර් 155ක් පමණ ද පුද්ගලික ඉඩම් හෙක්ටයාර් 263ක් පමණ ද ගිනි ගෙන ඇත.
     
    අදාළ ප්‍රමාණයන් නිශ්චිත ලෙස වාර්තා වූ ප්‍රමාණයන් පමණක්  වන අතර සත්‍ය තත්ත්වය මීට වඩා බෙහෙවින් වැඩි විය හැකි බවත් ගිනිගැනීම් සිදුවීම් සියයක් පමණ වාර්තා වූ බවත් සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
     
    බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙසේ පැවසූ අතර බදුල්ල දිස්ත්‍රික්කය තුළ ස්වාභාවික කැලෑ ගිනි ඇති වීමේ හැකියාවක් නොමැති බැවින් මෙම ගිනි තැබීම් සියල්ලම පුද්ගලයින් විසින් දැන හෝ නොදැන සිදුකරන ගිනි තැබීම් බවද පෙන්වා දුන්නේය.
     
    මෙහිදී අදහස් දැක්වූ ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම්. උදය කුමාර පැවසුවේ බොහෝ පිරිස් වැසි අපේක්ෂාවෙන් ද, සතුන් දඩයම පිණිස ද, ගවයින්ට ලා තණපත් වැවීම පිණිස ද, හේන් වගාව සඳහා ද, දර  ලබාගැනීමට මෙන් ම විනෝදය පිණිස ද කැලෑ ගිනි තබන බවත් මෙම තත්ත්වය අවම කිරීම පිණිස පාසල් ළමුන් ඇතුළු මහජනතාව දැනුවත් කිරීම මෙන්ම මේ ක්‍රියාවන් සිදුකරන හා ඊට අනුබල දෙන පිරිස්වලට එරෙහිව නීතිමය පියවර ගැනීම ද සිදුකරන බවත් පැවසීය.
     
    බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා මෙහිදී අදහස් දක්වමින් ඇල්ල හා මඩොල්සීම ප්‍රදේශවල කැලෑ ගිනි තැබූ පුද්ගලයින් පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ බවත් කැලෑ ගිනි තබන්නන් පිළිබඳ ව නිසි තොරතුරක් ලබාදෙන අයට ත්‍යාග ප්‍රදානය කිරීමට ආපදා ‍කළමනාකරණ අංශය සැලසුම් කොට ඇති බවත් පෙන්වා දුන්නේය.
     
    එසේම මේ හේතුවෙන් නියඟයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට මුහුණදීමට සිදුව ඇති ජල ප්‍රශ්නය තවත් උග්‍රවන බවද එහෙයින් කැලෑ ගිනි වැළැක්වීම සඳහා ප්‍රදේශයේ ජනතාවගේ සහාය අපේක්ෂා කරන බවද  දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය. 
     
    DB/BH dmu badulla
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya