අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශපාලන පළිගැනීම් මත උතුරු මැද පළාතේ ගුරුමාරු නෑ

    ජූලි 23, 2014

    දේශපාලන පළිගැනීම් මත උතුරු මැද පළාතේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් මාරු නොකරන බවත් පරිපාලන අවශ්‍යතාවන් මතත් විනය හේතු මතත් විදුහල්පතිවරු හා ගුරුවරු මාරු කරන විට විරෝධතා දැක්වීම සාධාරණ නැති බවත් උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විදුහලේ පැවති අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ විදුහල්පතිවරු දැනුවත් කිරීම සඳහා පසුගියදා පැවති සම්මන්ත‍්‍රණය අමතමිනි.


    එහිදි ප‍්‍රධාන අමාත්‍යවරයා මෙසේද කීය. “උතුරු මැද පළාතේ දරුවන්ගේ අනාගතය ගොඩනංවන ගුරු පරපුර දේශපාලන පළිගැනීම්වලින් හෙම්බත් වු පීඩිත වු යුගය පසුගිය දෙවසර තුළ අවසන් කළා. අද ගුරුවරයාට මහත් අභිමානයෙන් යුතුව සේවය කළ හැකි වතාවරණයක් උදාකර තිබෙනවා. ගුරු වෘත්තීය රස්සාවක් නො ව යුතුකමක් සේවයක් සේ සලකා දරුවන්ගේ  අනාගතය ගොඩනැංවීමට කටයුතු කරන ලෙස ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. උතුරු මැද පළාතේ අධ්‍යාපනය විධිමත් කරන්න නගාසිටුවන්න පසුගිය කාලයේ විවිධ තීන්දු තීරණ ගන්න සිදුවුණා. වෙනස් වීම් කරන්න සිදුවුණා. මේ රටේ අධ්‍යාපනය නව මාවතකට ගන්න ජනාධිපතිතුමා නව වැඩ පිළිවෙලක් අරඹලා. නව සංකල්පයක් නව බලාපොරොත්තුවක් අධ්‍යපනයට ලබා දීලා. පළාත් සභා බල ප‍්‍රදේශයේ එ සඳහා අවශ්‍ය පසුබිම සකසා ඇති බව ද අමාත්‍යවරයා කීය.
     

    උතුරු මැද පළාතේ මහ ඇමති මමයි. අධ්‍යාපන, කෘෂිකාර්මික, සෞඛ්‍ය, සමුපකාර අමාත්‍යවරු සමග සාකච්ඡා කොට තීන්දු තීරණ ගන්නවා. සමහර අයගේ මනසේ තියෙනවා මම වැඩ කරනවා මදි කියා තීරණ ගන්නවා මදි කියා. ජේ.ආර්. වගේ නො වේ පේ‍්‍රමදාස. ඒ වගේ නො වේ චන්ද්‍රිකා. එසේම මේ කවුරුත් වගේ නො වේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා තීන්දු තීරණ ගන්නේ. ජනතාව විසින් මහා ජනවරමකින් මාව මහ ඇමති පදවියට පත් කළා. පළාත් සභාවේ පැවති පාලනය වෙනස් කළ යුතු බව ජනතාව තීන්දු කළා. මට එක රැයකින් චන්ඩියෙක් වෙන්න පුළුවන්. ඒවායෙන් ප‍්‍රසාදය දිනා ගන්න මට අවශ්‍ය නැහැ. 13 වෙනි හා 17 වෙනි ව්‍යවස්ථා බලතල ප‍්‍රධාන අමාත්‍යවරයා සතු වුවත් බලය අයුතු ලෙස යෙදවීම තම ප‍්‍රතිපත්තිය නොවන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
     

    උතුරු මැද පළාතේ අධ්‍යාපනය පමණක් නො ව සියලු අංශ උසස් මට්ටමකට ගෙන ඒමට පසුගිය දෙවසර තුළ හැකි වු බව ද මධ්‍යම රජය හා පළාත් සභා මැති ඇමතිවරු සමග ඉතා සුහදව සාකච්ඡා කොට ජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස තමා ගන්නා බව ද විශේෂයෙන්ම උතුරු මැද අධ්‍යාපනයට නැති නීති රීති දා බලය අයුතු ලෙස පාවිච්චි කර අධ්‍යාපනය ලබන දරුවන් හෝ ගුරුවරු අතරමං කරන්නේ නැති බව ද මැතිවරණවලදි බලය යොදා ගුරුවරු තුන් හාරසියයක් පිරිවරාගෙන කැන්වසින් යමින් ඡන්ද ව්‍යාපාරයේ යෙදී නැති බවද  ඕනෑම අභියෝගයකට සාධාරණව මුහුණ දී ජයගැනීම තම පරමාර්ථය බව ද කීය.
     

    උතුරු මැද පළාතේ ගුරු මාරුවීම් දේශපාලන හේතු මත ගන්නේ නැත. පරිපාලන හා විනය හේතු මත පමණයි මාරුවීම් කරන්නේ. ඒ අවස්ථාවලදි සමහරු පෞද්ගලික හේතු මත ප‍්‍රශ්න ඇති කරනවා. පාසලේ හා දරුවන්ගේ  අනාගතය වෙනුවෙන් විදුහල්පතිවරු වගකීම දැරිය යුතුයි. විශාල ලෙස මූල්‍ය ප‍්‍රතිපාදන අධ්‍යාපනයට යොදවනවා. තාක්‍ෂණ අධ්‍යාපනයට අවශ්‍ය සියලු අවශ්‍යතා සඳහා ද පළාත් සභාව විසින් මූල්‍ය පහසුකම් දෙනු ලබමින් සිටින බවද කීය.
     

    එක් කාලයක පළාත් සභාවේ උසස් නිලධාරීන් ගුරු ප‍්‍රශ්න නිසා උසාවිවල රස්තියාදු වුණා. ගුරු සංගම් පාරට බැස්සා. උද්ඝෝෂණය කළා. අද ඒ සියල්ල නතර වෙලා. ප‍්‍රශ්න මතුවෙන විට සාකච්ඡා කොට තීන්දු තීරණ ගැනීමත් යුක්තිය හා සාධාරණය මත කටයුතු කිරීමත් සියලු ජයග‍්‍රහණවලට හේතු වී ඇති බව ද ප‍්‍රධාන අමාත්‍යවරයා කීය.


    පළාත් අධ්‍යාපන අමාත්‍ය කේ.එච්. නන්දසේන, පළාත් අධ්‍යාපන ලේකම් එන්.ජී. පණ්ඩිතරත්න මහත්වරුද මෙහිදි අදහස් දැක්වූහ.

     
    මෙම අවස්ථාවට පළාත් සහකාර අධ්‍යාපන ලේකම් සුමිත් කේ. සෝමරත්න, අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරුද විදුහල්පතිවරුද සහභාගි වුහ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya