මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාත්මය හදන්න කලින් භෞතික සම්පත් ටික හදන්න අවශ්‍යයි

    ජූලි 16, 2014

    පළමුවෙන් ම අධ්‍යාත්මය හදන්න කලින් භෞතික සම්පත් ටික හදන්න අවශ්‍ය බව වයඹ ප්‍රධාන අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.අමාත්‍යවරයා මේ බව පැවසුවේ, පසුගියදා කොළඹ පදනම් ආයතනයේ පැවති වයඹ විදුහල්පතිවරුන් 500 දෙනෙකුට  ධාරිතා සංවර්ධන වැඩසටහන ආරම්භ කිරීමේදී පැවති සාකච්ඡාවට එක් වෙමිනි.


    වයඹ පළාත් අමාත්‍යවරයා තවදුරටත් එහිදී පැවසුවේ, වයඹ පළාත තුළ පාසල් 46ක් තිබුණා පොල් අතු සහිත පාසල්. මම පළමුවෙන් ම කළේ එම පාසල් පොල් අතු රහිත පාසල් බවට පත්කරන එක. මම වයඹ ප්‍රධාන අමාත්‍යවරයා වුණාට පස්සේ මගේ වුවමනාව වුණේ වයඹ පළාත් සභාව පරමාදර්ශී පළාත් සභාවක් බවට පත් කිරීමයි. පරමාදර්ශීභාවය ඇති වෙන්නේ විවිධ ක්‍ෂේත්‍රවලින්.


    අපි අධ්‍යාපන ක්‍ෂේත්‍රය  ගත්තාම අපේ පාසල් 1236ක් තියනවා. ගුරුවරු 27000ක් වැඩ කරනවා. ළමයි 498000ක් ඉනන්වා. කොට්ඨාස 31ක් අපිට තියනවා. විදුහල්පතිවරු 1236 ඉන්නවා. වැඩබලන විදුහල්පතිවරු 230ක් ඉන්නවා. 2011 න් පස්සේ තවම විදුහල්පතිවරුන්ගේ විභාගය තියලා නෑ. ඒ නිසා වැඩබලන විදුහල්පතිවරුන් අපිට පත්කරන්න සිද්ධවෙනවා. අපි ගිය සතියේ පටන් ගත්තා සම්මුඛ පරීක්ෂණයක් විදුහල්පතිවරුන් තෝරන්න. අඩුම තරමේ මේ විදුහල්පතිවරයා මේ පාසලේ වැඩකරන්න පුළුවන් කියන තැනට පත්කරලා මේ ස්ථානවලට ඇතුලත් කරගන්න. දරුවන්ගේ සියලු දේවල් සිද්ධවෙන්නේ විදුහල්පතිවරයාගේ වැඩවලට අනුවයි. හොඳ විදුහල්පතිවරයෙක් නැති නරක පාසලකුත් නෑ , නරක පාසලක් ඇති හොඳ විදුහල්පතිවරයෙකුත් නෑ. ඒකෙන් අදහස් කරන්නේ විදුහල්පතිවරයා තමයි සියලු ම දේවල් තීන්දු කරන්නේ.

    අපේ ජනාධිපතිතුමා විශාල ශක්තියක් මට දුන්නා ඒ වෙනුවෙන්. ඒ වගේම පී. බී . ජයසුන්දර මහතා ගෞරවයක්, ශක්තියක් අපිට ලබා දුන්නා. ජල පහසුකම් නැති වැසිකිළි තිබෙන පාසල් 192ක් තිබුණා වයඹ පළාතේ. අපිට ඒ සියලු ම පාසල් ටික හදන්න මුදල් ලැබිලා තියනවා. දැන් පාසල් 210කට විතර රුපියල් මිලියන 98ක් වියදම් කරලා සංවර්ධන කටයුතු කරලා තියනවා.

    ප්‍රාථමික හා ද්විතීයක පාසල් ක්‍රම හඳුන්වා දුන්නට පස්සෙත් ඒකටත් මුදල් අපිට ලැබුණා. වාතාශ්‍රය සහිත පාසල් බිහිකිරීම අපි ආරම්භ කරලා තියනවා. ඒ වගේම ගුරු විවේකාගාර 31ක් ඉදිකරන්න අපි වයඹ පළාතෙන් පටන්ගත්තා. විදුහල්පතිවරයෙක් ඉන්න ඕන ක්‍රමවේදය ගැන මම කතා කරා. ජාතික ඇඳුම අඳින්න, ටයි එකක් දාන්න, අත්දිග කමිසය අඳින්න. ඒ ගෞරවය ඒ විදියට ආරක්ෂා කරගන්න. මමත් මේ දේ  උත්සවවලට සහභාගී වෙනකොට ඉතාම කල්පනාවෙන් කරන දෙයක්. මමත් සුදුසු ස්ථානයට ඒ විදියට ඇඳගෙන යනවා. විදුහල්පතිවරු පාසල ඇතුලේ ඇඳුමෙන් පැළඳුමෙන් පවා තමන්ගේ ගෞරවය හදාගන්න. දරුවන්ව විනයක් ඇතුව හදන්න අපිට හැකිවෙන්නේත් එතකොට. ළමයින්ගේ පිළිවෙලත් අපි හදන්න ඕනේ. පාසලේ පරිපාලකයා විදියට විදුහල්පතිට තමයි අයිතිය තියෙන්නේ ගුරුවරු සහ ළමයි සමඟ පරිපාලනය හදාගන්න. පාසලේදී  පන්තියෙන් පන්තියේ ඉන්න දරුවන්ගේ දෙමව්පියෝ සමඟ සාකච්ඡා කරන්න වැඩපිළිවෙළක් යොදාගන්න. මේක අභ්‍යාසයක් විදියට කරන්න ඕනේ.

    අපි බලාපොරොත්තු වෙන්නේ පෞරුෂය  සහිත ක්‍රමානුකූල විදුහල්පතිවරයෙක් බිහිකරන්න. ඒ වගේම අපි භාෂාවන් සහිත භාෂා විද්‍යාල බිහිකරන්න වැඩපිළිවෙළක් සකස් කරනවා. මම බලාපොරොත්තු වෙනවා ඒකත් මේ පොළොව උඩ  මතු කරන්න. මේ පුහුණුවෙන් පස්සේ ඔබ ලබාගන්නා ප්‍රතිඵල සහතිකය ඔබට ඉහළට යනකොට ලකුණු මට්ටමක් දෙන්න පුළුවන් දෙයක් වෙයි.

    මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග,  මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආචාර්ය පී.බී. ජයසුන්දර, ශ්‍රී ලංකා පදනමේ සභාපති ආචාර්ය රංජිත් බණ්ඩාර, වයඹ පළාත් ප්‍රධාන ලේකම් ජයන්ත විජේරත්න, වයඹ ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් පී.බී.එම්. සිරිසේන, වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.ජී.එන්. තිලකරත්න යන මහත්වරුද විදුහල්පතිවරු ඇතුළු විශාල පිරිසක්ද සහභාගී වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya