මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප‍්‍රසව අධිසත්කාර ඒකකය විවෘත කරයි

    මැයි 28, 2015
    දිවයින පුරා පිහිටි රෝහල්වලින් ජනතාවට ලබාදෙන සෞඛ්‍ය සේවාවන් හි ගුණාත්මකභාවය ඉහළ නැංවීමට රෝහල්වල මානව සම්පත් සහ භෞතික සම්පත්වල පවතින ගැටලු සොයා බලමින් එම ගැටලු නිරාකරණය සඳහා කඩිනම් ක‍්‍රියාමාර්ග ගැනීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ක‍්‍රියාවට නංවා ඇත. මෙම වැඩසටහන සමගාමීව අද (28) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
     
    එම අවස්ථාවේදී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප‍්‍රසව ඒකකයේ යම් මවකට දරු ප‍්‍රසුතියේ දී යම් සංකූලතා ඇති වුවහොත් ඒ සඳහා ප‍්‍රතිකාර කිරීමේ අරමුණින් ප‍්‍රසව වාට්ටුව තුළ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප‍්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 06ක වියදමින් ඉදිකරන ලද අධිසත්කාර ඒකකය විවෘත කිරීමත්, රෝගියෙක් රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ සිට ප‍්‍රතිකාර ලබා රෝහලෙන් පිටව යනතෙක් සහ නැවත ප‍්‍රතිකාර ගැනීම සඳහා එම රෝගීන් රෝහලට පැමිණිය හොත් එම රෝගීන් පිළිබඳ ව සියලු දත්ත පරිගණකගත කිරීමේ වැඩසටහනේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ස්ථාපිත කරන ලද ඒකකය විවෘත කිරීමත්, දැනට නේවාසික ප‍්‍රතිකාර ලබාගන්නා රෝගීන් වෙත එම නවීන තාක්ෂණයෙන් යුත් ඔවුන්ගේ දත්ත ඇතුළත් හැඳුනුම්පත් ලබාදීමත් සිදු කෙරිණි.
     
    එහිදී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වර්තමාන තත්ත්වය පිළිබඳ සොයාබැලීම සඳහා රෝහලේ කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි.  රෝහලේ පවතින මානව හා භෞතික සම්පත් ඵලදායී ලෙස ප‍්‍රතිකාර සේවාවන් සඳහා යොදා ගැනීම පිළිබඳවත්,  අවශ්‍ය කාර්යමණ්ඩල ලබාදීමහා හිඟයකින් තොරව ඖෂධ ලබාදීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා විය.
     
    මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා, මෙම වර්ෂයේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් වෙන්කොට ඇති ප‍්‍රතිපාදන යටතේ භෞතික සම්පත් සංවර්ධනයට පියවර ගන්නා බවත් රෝහලේ කාර්යමණ්ඩල හිඟයක් පවතී නම් රෝගී සත්කාරක සේවා අඩාල නොවී පවත්වගෙන යාම සඳහා ඒ අවශ්‍ය කාර්යමණ්ඩල ලබාදීමට පියවර ගන්නා බවත් පැවසීය.
     
    මෙම අවස්ථාවට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජේ.එම්.ඩබ් ජයම්පති හේරත් මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප‍්‍රනාන්දු මහත්මිය ඇතුළු රෝහල් කාර්යමණ්ඩල නියෝජනය කරමින් පිරිසක් එක්ව සිටියහ. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya