මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වකුගඩු රෝගය ගැන අන්තර්ජාතික උ‍පදෙස් වාර්තාව ජනපතිට

    මැයි 07, 2016

    හේතු හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය පිළිබඳ අන්තර්ජාතික විශේෂඥ උපදෙස් විමසීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය හා වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය එක්ව පැවැත්වූ වැඩමුළුවේ වාර්තාව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම ඊයේ  (06)  ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    හේතු හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය ශී‍්‍ර ලංකාවේ මෙන්ම තවත් රටවල් ගණනාවක විශේෂයෙන්ම මධ්‍යම හා ලතින් ඇමරිකාවේ පවතින බරපතළ මහජන සෞඛ්‍ය ගැටලුවකි. මෙම රෝගය නිසා පිඩාවට පත්ව සිටින්නේ උණුසුම් දේශගුණික තත්ත්ව යටතේ ජීවත් වන දිළිදු ගැමි ගොවියන් ය.

    වසර 20 කටත් වඩා වැඩි කාලයක් තිස්සේ ශී‍්‍ර ලංකාවේ මෙන්ම අනෙකුත් රටවල කෙතරම් අධ්‍යයනයන් සිදු කරන ලද නමුත් මෙම රෝගය පිළිබඳ ගැටලුව තවමත් විසඳී නොමැත.

    මෙම තත්ත්වය යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශී‍්‍ර ලංකා කාර්යාලය සහ වකුගඩු රෝග නිවාරණය ස`දහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය එක්ව මෙම ගැටලුවට මුහුණ දීම සඳහා මාර්ගෝපදේශනය ලබා ගැනීම සඳහා අන්තර්ජාතික විශේෂඥ උපදෙස් ලබා ගැනීමේ තෙදින වැඩමුළුවක් පවත්වන ලදී.

    රෝගය නිවාරණය සහ කළමනාකරණය උදෙසා වන පර්යේෂණ ප‍්‍රමුඛතා සහ පිරිවැය මැදිහත්විම් හඳුනාගැනීම මෙම වැඩමුළුවේ ඉලක්ක විය. ශී‍්‍ර ලංකාවේ මෙන්ම ගෝලීයව මේ සම්බන්ධව ඇති දැනුම සමාලෝචනය, එහි අඩුපාඩු හඳුනා ගැනීම, අන්තර් විෂයයීය සහයෝගිතා පර්යේෂණ ප‍්‍රමුඛතා හඳුනාගැනීම සහ දැනට තිබෙන සාක්ෂ්‍ය මත පදනම්ව මැදිහත්වීම් ප‍්‍රමුඛතා හඳුනා ගැනීම එහි අරමුණ විය. එසේම අවසාන නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම උදෙසා වන අධීක්ෂණ හා වගකීම් ව්‍යුහ රාමුවක් සියලු දෙනාගේ එකඟත්වයෙන් ගොඩනගා ගැනීම ද මෙහි තවත් ඉලක්කයක් විය.

    වෛද්‍ය සායනිකයන්, පර්යේෂකයන්, රෝග ව්‍යාප්ති පිළිබඳ විශේෂඥයන්, කෘෂි විද්‍යාඥයන්, සමාජ විද්‍යාඥයන් සහ අනෙකුත් විශේෂඥයන් ගෙන් සැදුම්ලත් අන්තර්ජාතික සහ දේශීය විද්වතුන් 54 දෙනෙකු සහභාගී වූ මෙම සමුළුවට ශී‍්‍ර ලංකාව, ඉන්දියාව, එක්සත් රාජධානිය, ඕස්ටේ‍්‍රලියාව, කියුබාව ඇතුළු රටවල් රැසක නියෝජිතයින් සහභාගී විය.

    අන්තර්ජාතික වෘක්කවේද සමාජය, ශී‍්‍ර ලංකා වෘක්කවේද සමාජය, දේශීය හා විදේශීය විශ්වවිද්‍යාල, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පර්යේෂණ ආයතන, ජාතික විද්‍යා පදනම, විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය නියෝජනය කෙරුණු ප‍්‍රධාන ආයතනයන්ය.

    මෙම වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිත වෛද්‍ය ජෙකොබ් කුමරේසන් මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya