මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බලය භාවිත ගැන දේශපාලඥයින් අවධානයෙන් කටයුතු කළ යුතුයි- ජනපති

    අප්‍රේල් 08, 2016

    ප‍්‍රජාතන්ත‍්‍රවාදී, නිදහස් රටක ජනතාව විසින් නායකත්වයට සහ පක්ෂයකට ලබාදෙන බලය කෙසේ භාවිතා කළ යුතුද ඒ තුළ තමන්ට හිමිවන ස්ථානය කුමක්ද යන්න පිළිබඳව සියලු දේශපාලනඥයින් අවධානයෙන් කළයුතු බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පවසයි.

    ජනතාව ලබා දෙන බලය තම පවුල ශක්තිමත් කර ගැනීමට හෝ දේශපාලන බලය වැඩි කර ගැනීමට භාවිතා නොකළ යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ඊයේ (07) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති දිවංගත ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ජන්ම ශත සංවත්සර සැමරුම් උළෙලට එක්වෙමිනි.

    සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය කිසිදා බලය අනිසි ලෙස භාවිතා නොකළ අතර වංචාව දුෂණය සහ අක‍්‍රමිකතාවය සම්පූර්ණයෙන් පිටුදකිමින් කටයුතු කළ එතුමිය තුළ තිබූ ඉවසීම, කැපවීම, අවංකභාවය සහ අභියෝග හමුවේ නොසැළී ඉදිරියට යාමේ විශිෂ්ට ගුණාංග වත්මන් දේශපාලන ක්ෂේත‍්‍රයේ සියලුදෙනාට මහඟු ආදර්ශයක් වන අතරම එය භාවිතය අද දවසේ අත්‍යාවශ්‍යව පවතින බවද කියා සිටියේය.

    බණ්ඩාරනායක මැතිණිය රටට ඉටුකළ ෙඓතිහාසික කාර්ය භාරය එම යුගවල අවශ්‍යතාවය අනුව මෙන්ම අන්තර්ජාතික වශයෙන් මහා වැදගත්කමක් ගන්නා බව පැවසූ ජනාධිපතිතුමා රටේ ඇතිවූ දේශපාලන ප‍්‍රශ්නවලදී රට සහ පක්ෂය වෙනුවෙන් එතුමියගේ දෑසේ කදුළු නැගුණු අවස්ථා තම දේශපාලන අත්දැකීම් අතර තිබෙන බවද කියා සිටියේය.

    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ලෙස කටයුතු කිරීමේදී අංක එක හිමිවන්නේ රට සහ ජනතාව වෙනුවෙන් බව ජනාධිපතිතුමා එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

    බණ්ඩාරණායක පවුල රට පාලනය කරන යුගවල පවුලක් වශයෙන් විවිධ විවේචනයන්ට ලක්වුවද රටට මහත් සේවයක් කළ ආදර්ශමත් දේශපාලන චරිත ලෙස ඉතිහාසයට එක්වන බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    ජනාධිපතිතුමා ඇතුළු පිරිස විසින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව සමරු උත්සවය ආරම්භ කෙරිණි.

    ,සිරිමාවෝ, ග‍්‍රන්ථයේ සිංහල, දෙමළ පිටපත් සුනේත‍්‍රා බණ්ඩාරනායක මැතිණිය විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර සිරිමාවෝ බණ්ඩාරණායක වෙබ් අඩවිය එළිදැක්වීමද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ජන්ම ශත සංවත්සර උත්සවය වෙනුවෙන් නිකුත් කළ සමරු මුද්දරය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද සිදු විය.
    සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ජන්ම ශත සංවත්සරයට සමගාමීව දීප ව්‍යාප්තව පැවැත්වූ කථික තරග ජයග‍්‍රාහකයින්ට ත්‍යාග ප‍්‍රදානය කිරීම සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායකයින් ද, කතානායක කරූ ජයසූරිය මහතා ඇතුළු මැති ඇමතිවරුන් ද, හිටපු ජනාධිපතිනි චන්දි‍්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, සුනේත‍්‍රා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු බණ්ඩාරනායක පවුලේ සාමාජිකයින් සහ ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya