මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිනිස් ජාවාරමට එරෙහි විශේෂ ඒකකයක්- විගමණිකයින්ගේ ආරක්‍ෂාවට ගන්නා කි‍්‍රයාමාර්ග නතර කරන්නේ නෑ

    අප්‍රේල් 07, 2016

    තමන්ට කුමන චෝදනා එල්ල කළත් තමන් කිසිවිටෙක විගමණික ශ‍්‍රමිකයින්ගේ ආරක්‍ෂාව හා සුභසාධනය වෙනුවෙන් ගන්නා කි‍්‍රයාමාර්ග නතර නොකරන බවත් බොරු චෝදනා මඟින් කිසිවෙකුට තමන්ගේ ගමන නතර කළ නොහැකි බවත් විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කළාය.


    අමාත්‍යවරිය මෙම අදහස් පළකළේ, මිනිස් ජාවාරමට එරෙහි විශේෂ ඒකකයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී අද දින(07) ආරම්භ කරමිනි.

     

    එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය, අපි ඉතාම සතුටු වෙනවා, මේ කටයුත්ත අභියෝග රැසක් මැද්දෙ ඉතාම හොඳින් කරන්නට හැකියාව ලැබීම ගැන. ලංකාවේ දණ්ඩ නීති සංග‍්‍රහයේ 360 වගන්තියේ සී කොටසේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා, විදේශ රැකියා ජාවාරම දඩුවම් ලැබිය හැකි වරදක් හා නීති විරෝධි වැඩක් කියලා. අද අපි රටක් හැටියට මහ ලොකුවට විගමනික ශ‍්‍රමිකයින් ගැන කථා කළත්, නොයෙකුත් චෝදනා එල්ල කළත් අපි හොඳ තැනක නෑ. මට හිතාගන්න බෑ පහුගිය කාලේ මේ ක්ෂේත‍්‍රයේ හිටිය අය මේ ප‍්‍රශ්නේ මේ තරම් වැඩිවෙනකම් මේ ගැන කථා නොකර හිටියෙ ඇයි කියලා.

     


    එක්සත් ජාතීන්ගේ සංවිධානේ කරපු සමීක්‍ෂණවලින් හෙළිවෙලා තියෙනවා, අපි මිනිස් ජාවාරමට ලක්වන රටක් හැටියට. ඒ වගේම මිනිස් ජාවාරම නිසා සම්බාධක පැනවෙන රටක් හැටියටත් අපේ රට නම් කරලා තියෙනවා. ඒ අය නිතර සෙවිල්ලෙන් ඉන්නෙ අපි රජයක් හැටියට මේ ජාවාරම නතර කරන්න උත්සහ කරන්න කරනවද නැතිනම් ඒ තත්වය ඒ වගේමද කියලා. අපි ආර්ථික සම්බාධක නම් පනවගන්න සූදානම් නෑ. සමහරු කැමති වුනත් අපි මතක් කරන්න ඕන.

     

    අපේ රටේ හොඳ රැකියා අවස්ථා නිබුණ නම් මේ වගේ දුක්විඳින්න අපේ රටේ අය පිටරට යන්නේ නෑ. ඒකට වගකිව යුතු රජයක් හැටියට පිළියම් යොදනවා වගේම මේ තත්වය වලක්ව ගන්නත් අපි කටයුතු කරන්න ඕන. අද රටේ වැඩිම ආදායම බවට පත්වෙලා තියෙන්නේ විගමණික ශ‍්‍රමිකයින්ගේ ආදායම.

     

    අපිට එකපාරම මේ පිටරට රැකියාවට යන එක නවත්තන්න බෑ. කාලයාගේ ඇවෑමෙන් මේ දේවල් නතර වෙයි කියලා හිතෙනවා. මොකද අපි මේක කැමැත්තෙන් කරන දෙයක් නෙවෙයි.අපි විගමණික ශ‍්‍රමිකයින් මේ රටට ලබාදෙන ශක්තිය අවතක්සේරු කරන්න සූදානම් නෑ.ක්ෂේත‍්‍රයේ නියැලිලා ඉන්න විශාල පිරිසක් නීත්‍යානුකූලව මෙම රාජකාරි ඉටුකරන අතර වංචනික කි‍්‍රයාවන් කරන ඉතා සුළු පිරිසක් නිසා මේ ක්ෂේත‍්‍රය අපකීර්තියට පත්වෙලා තියෙනවා.

     

    මට නොයෙක් චෝදනා කරන්න පුළුවන්. මොන දේ කලත් මම නීත්‍යානුකූලව යන විගමණික ශ‍්‍රමිකයා ආරක්‍ෂා කරන්න බැඳිලා ඉන්නවා. මට ගොඩක් දෙනෙක් කියනවා ඉස්සර වගේ නෙවෙයි තානාපති කාර්යාලවල කම්කරු අංශය දැන් හොඳින් සේවය කරනවා කියලා. මේවා අපිට සතුටු වෙන්න පුළුවන් දේවල්. අපිට එකපාරටම 360කට හැරෙන්න බෑ. මොකද මිනිස්සු වෙනස් වෙලා නෑ. හිටපු නිළධාරීන් එක්කයි අපිට වැඩ කරන්න වෙලා තියෙන්නේ. මේ තත්වය වෙනස් කරන්න අපි උපරිම උත්සහ කරනවා. හේතුව අපේ රටේ ඉන්න හැම කෙනෙක්ම අපිට වටිනවා යැයි ද අමාත්‍යවරිය පැවසුවාය.

     

    මෙම අවස්ථාවට විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම් ජී.එස්. විතානගේ, කාර්යාංශයේ සභාපති ආර්. කේ.ඔබේසේකර, ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජිතයින් හා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නියෝජිතයින් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya