මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව රජයේ අරමුණ පොලිස් සේවාව සැබෑ ජනතා මිත්‍රශීලි සේවාවක් බවට පත්කිරීමයි – ජනපති

    මාර්තු 28, 2016
    පොලිස් සේවාව සැබෑ ජනතා මිත්‍රශීලි සේවාවක් බවට පත්කිරීම නව රජයේ අරමුණ බව ජනාධිපතිතුමා පවසයි.
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ මහජන මිත්‍රශීලි පොලිස් සේවාවක කාර්යභාරය අවධාරණය කරමින් ජනාධිපති කාර්යාලය, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය සහ පොලිස් දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක ඒකාබද්ධ මහා පරිමාණ පොලිස් ජංගම සේවාවේ පළමු වැඩසටහනට පොළොන්නරුවේ දී එක් වෙමිනි.
     
    යහපත් සමාජයක් – සුරක්ෂිත රටක් තේමාව යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද, දිඹුලාගල, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිතව දින සියයකට ආසන්න කාලයක් ඒකාබද්ධ පොලිස් ජංගම සේවාව ක්‍රියාත්මක කෙරිණි. එහි සමාප්තිය සනිටුහන් කිරීමේ උත්සවය මෙලෙස ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මනම්පිටිය නිශ්ශංකමල්ලපුර කනිෂ්ඨ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
     
    ප්‍රජා සේවාවන් රැසක් ද මේ හා සමගාමීව දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක කෙරෙණු අතර රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා සලසාදීම, විහාරස්ථාන සඳහා සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ කට්ටල සහ පිරුවාණා පොත් වහන්සේලා පූජා කිරීම, ශ්‍රව්‍යාබාධ සහිත පුද්ගලයින් සඳහා ශ්‍රව්‍ය උපකරණ පිරිනැමීම, ඇස් කන්නාඩි ප්‍රදානය, රෝද පුටු, අත්වාරු සහ කිහිලිකරු ප්‍රදානය ද ඒ යටතේ සිදු කෙරිණි.
     
    අපරාධ නිවාරණය, ළමා අපචාර හා අපයෝජන පිටුදැකීම, මත්ද්‍රව්‍ය නිවාරණය සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ පාසැල් සිසුන් දැනුවත් කිරීමද පොලිස් ජංගම සේවාවට සමගාමීව ක්‍රියාත්මකය. පරිසර සංරක්ෂණය හා පවිත්‍රතාව පිළිබඳ වැඩසටහන් ද, අපරාධ නිවාරණය සඳහා සිවිල් ආරක්ෂක කමිටු බල ගැන්වීම ද සිදු කෙරෙන අතර මේ දක්වා නොවිසඳුනු පැමිණිලි විභාග කිරීම, මත්ද්‍රව්‍ය හා නීති විරධී මත්පැන් අලෙවි කරන්නන් ක්ෂණික වැටලීම් ඔස්සේ අත් අඩංගුවට ගැනීම ද පොලිස් ජංගම සේවාව ඔස්සේ ක්‍රියාත්මක කෙරෙයි.
     
    විහාරස්ථාන සඳහා සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ කට්ටල ප්‍රදානය කිරීම සංකේතවත් කරමින් ත්‍රිපිටක ග්‍රන්ථ ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
    එමෙන්ම ශ්‍රව්‍යාබාධ උපකරණ ප්‍රදානය සහ ඇස් කන්ණාඩි ප්‍රදානය කිරීමද ජනාධිපතිතුමා අතින් සංකේතවත් කෙරිණි.
     
    උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ප්‍රජාව සහ පොලිසිය අතර සමීප සබඳතාවයක් ගොඩනැඟීම තුළින් වඩාත් කාර්යක්ෂම ඵලදායී සේවාවක් ඉටු වනු ඇති බවයි.
     
    ජනතාවට ඉතා සමීපව කටයුතු කරන සියලු රාජ්‍ය ආයතන විවේචනයට මෙන්ම ප්‍රශංසාවට ලක්වීම සාමාන්‍ය සිදුවීමක් වන අතර ඇතැම් අවස්ථාවල කුමන අන්දමේ විවේචනවලට ලක්වුවද මානව සමාජයේ යහපැවැත්ම සඳහා නීතිය සහ සාමය ක්‍රියාත්මක කිරීමට අපේ පොලිස් දෙපාර්තමේන්තුව ඉටු කරන කාර්ය භාරය විශිෂ්ට බව ද ජනාධිපතිවරයා පැවසීය.
     
    ත්‍රස්තවාදී සමයේ ත්‍රිවිධ හමුදාව සමඟ පොලිසිය ඉටු කළ තීරණාත්මක කාර්ය භාරය ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.
     
    පොලීසිය පිළිබඳව ජනතාව තුළ පවත්නා ඇතැම් ආකල්ප තුරන් කරමින්, සමාජ සංවර්ධනය සහ ජනතාවගේ ගැටලු කඩිනමින් විසඳීම සඳහා පොලිසියේ දායකත්වය ලබා ගැනීම තුළින් අන්‍යෝන්‍ය  සුහදතාව වර්ධනය ද පොලිස් ජංගම සේවාව තුළින් සවිබල ගැන්වෙනු ඇත.
     
    දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්ක ද ආවරණය කෙරෙමින් ඉදිරියේදී මහා පරිමාණ පොලිස් ජංගම සේවාව ක්‍රියාත්ම කිරීමට නියමිතය.
     
    අද පැවති වැඩසටහනට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවීර, වැඩබලන පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න යන මහත්වරුන් ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya