මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්තරන්වල සැබෑ අයිතිකරුවන් සොයා ගැනීම අධීක්ෂණ කමිටු මගින් කළ හැකියි

    මාර්තු 09, 2016

    රත්තරන්වල සැබෑ අයිතිකරුවන් සොයා ගැනීමේත්,ඒ රත්තරන් හොර පාරක ගියාදැයි සොයා ගැනීමේත් යුතුකමක් හා වගකීමක් පාර්ලිමේන්තුව සතු බවත් අධීක්ෂණ කමිටු මගින් අපට මේ සියල්ලේ සැබෑ තත්ත්වය සොයා ගත හැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

     

    දැනට අයිතිකරුවන් හඳුනාගත නොහැකි රන් භාණ්ඩ කිලෝ ග්‍රෑම් 80 කට ආසන්න ප්‍රමාණයක් යුධ හමුදාව භාරයේ සුරක්ෂිතව ඇති බවත්,හමුදා වාර්තා පෙන්වාදෙන පරිදි එම රන් භාණ්ඩ ඉදිරියේදී තක්සේරු කර ශ්‍රි ලංකා මහ බැංකුවට බාර දීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා  ප්‍රකාශ කළේ, අද (09) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසන අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ;   අධීක්ෂණ කමිටු මගින් මේ සියල්ලේ සැබෑ තත්වය සොයා ගත හැකි බවට  විශ්වාස කරනවා.  එල්ටීටීඊ සංවිධානය විසින් පවත්වාගෙන ගිය බැංකුවල තැන්පත් කර තිබූ සහ උකස් කර තිබූ රන් භාණ්ඩ ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සොයා ගත්තා. වෙනත් ස්ථානයන්හි සඟවා තිබුණු රන් භාණ්ඩ සොයා ගැනීමටද හමුදාවට හැකිවුණා.මේ රන් භාණ්ඩ බොහොමයක් සාමාන්‍ය ජනතාව සතු ඒවායි. එල්ටීටීඊ සංවිධානය සතු රන් භාණ්ඩත් මේ අතර තියෙන්නට පුළුවන්.

    හමුදා වාර්තා අනුව කිලෝ ග්‍රෑම් 150 කට ආසන්න රන් භාණ්ඩ හමුදා බාරයට ගෙන තිබෙනවා. කර මාල, වළලූ, කරාපු, පෙන්ඩන්ට්, බ්‍රේස්ලට්, මුදු, තැලි ආදී ස්වර්ණාභාරණ මේ අතර තියෙනවා.මේ භාණ්ඩ වලින් කිලෝ ග්රෑම් 32 කට ආසන්න ප්‍රමාණයක් මහ බැංකුව වෙත බාර දී තිබෙනවා. ඒ 2010 සැප්තැම්බර් 07 වන දා සිට, 2012 ජනවාරි 26 වන දා දක්වා කාලසීමාව තුළ අවස්ථා 28 කදී මෙම භාරදීම් සිදුකර තිබෙනවා.


    මෙසේ බාර දීමේදී ජාතික මැණික් හා ස්වර්ණාභරණ ආයතනය ලවා එම රන් භාණ්ඩ තක්සේරු කර තිබෙනවා.මේසේ බාර දුන් රන් භාණ්ඩයන්හි බර ප්‍රමාණය ග්‍රෑම් 31,705.34 ක්. තක්සේරු වටිනාකම රුපියල් 131,084,751.00 ක්.භාණ්ඩ බාර ගැනීම පිළිබඳව ශ්‍රීලංකා මහ බැංකුව මෙසේ පවසනවා.


     ''එකී ස්වර්ණාභරණ  ශ්‍රී ලංකා මහ බැංකුව විසින් යුධ හමුදා නියෝජිතයන් හා අභ්‍යන්තර විගණන නියෝජිතයන් ඉදිරියේ බර කිරා තහවුරු කරගත් අතර, ප්‍රමිතිය පරීක්ෂා නොකර භාර ගන්නා ලදී.”

     

    එසේ භාරගත් රන් භාණ්ඩ මහබැංකු සුරක්ෂිතාගාරයේ තැන්පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා යුධ හමුදාව පවසන පරිදි, ඉතිරි රන් භාණ්ඩවලින් බර ගණනය නොකළ බහාලූම් 2313 ක් 2014 වසරේ අවස්ථා දෙකකදී අයිතිකරුවන් වෙත බාර දී තිබෙනවා. 2014 ඔක්තෝබර් 12 වන දා කිලිනොච්චියේදී අයිතිකරුවන් 25 දෙනෙකුට බාර දුන්නා. සියළුම ජනමාධ්‍ය සහ රජයේ නිල වෙබ් අඩවි එම අවස්ථාව වාර්තා කර තිබුණා. ඒ උත්සවයේ ඡායාරූප සහිතව ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කළ පුවත් ලිපියක සඳහන් වෙන්නේ රන් භාණ්ඩ අයිතිකරුවන් 2377 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති බවයි.

     

    නමුත් යුධ හමුදා වාර්තා අනුව 2014 දෙසැම්බර් 04 වන දා කොළඹ දී රන් භාණ්ඩ බාර දී තියෙන්නේ අයිතිකරුවන් 2294 දෙනෙකුටයි. ඒ උත්සවය පිළිබඳව පළවූ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වාර්තාවල සඳහන් වෙන්නේ 1960 දෙනෙකුට රන් භාණ්ඩ බාර දුන් බවයි. ඒ සංඛ්‍යාව 2014 දෙසැම්බර 05 වන දා ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය මගින්ද තහවුරු කර තිබෙනවා. එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වීරසේකර මහතා උපුටා දක්වමින් රජයේ නිල පුවත් වෙබ් අඩවිය සඳහන් කර තිබුණේ රන් භාණ්ඩ බහාළුම් 2184 ක්, අයිතිකරුවන් 1960 දෙනෙකුට බාර දුන් බවයි.

     


    එවැනි පරස්පර සංඛ්‍යාලේඛන මෙන්ම අපහැදිලි තැන් ගණනාවකුත් මේ ගනුදෙනුව සම්බන්ධව තියෙනවා. ඒ නිසා මේ රන්භාණ්ඩ ගනුදෙනුවේ අපහැදිලි තැන් සොයා ගැනීම මේ පාර්ලිමේන්තුව සතු වගකීමක් යැයි මා යෝජනා කරනවා. අධීක්ෂණ කමිටු මගින් අපට මේ සියල්ලේ සැබෑ තත්වය සොයා ගත හැකි යැයි මා සිතනවා.  අපේ රටේ ප්‍රසිද්ධ කියමනක් මට මෙහිදී සිහිපත් වෙනවා.  “අනුන්ගේ රත්තරන් – අපි අරන් මක් කරන්”

     

    ඒ නිසා මේ රත්තරන්වල සැබෑ අයිතිකරුවන් සොයා ගැනීමේත්, ඒ රත්තරන් හොර පාරක ගියාදැයි සොයා ගැනීමේත් යුතුකමක් හා වගකීමක් මේ පාර්ලිමේන්තුව සතු බව මම අවධාරණය කරන්නට කැමතියි.

     

    දැනට අයිතිකරුවන් හඳුනාගත නොහැකි රන් භාණ්ඩ කිලෝග්රෑ ම් 80 කට ආසන්න ප්‍රමාණයක් යුධ හමුදාව භාරයේ සුරක්ෂිතව තියෙනවා. මේ භාණ්ඩ තක්සේරු කර නැහැ. හමුදා වාර්තා පෙන්වා දෙන්නේ ඒවා ඉදිරියේදී තක්සේරු කර ශ්‍රි ලංකා මහ බැංකුවට බාර දීමට කටයුතු කරන බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya