මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආගමික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ දී ආගමික නායකයින් සමඟ එක්ව කටයුතු කරනවා

    පෙබරවාරි 01, 2016

    පාර්ලිමේන්තුව සහ විධායකය හැටියට සිතා බලා ආර්ථිකය, අධ්‍යාපනය ඇතුළු අනෙකුත් අංශ ගැන නීති හදන්නට නීති සංශෝධනය කරන්නට අපේ කැමැත්ත අනුව අපට පුළුවන්. එහෙත් ආගමික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ දී අපි ආගමික නායකයින් සමඟ එක්ව කටයුතු කරනවා මිස,අපිට ඊට මැදිහත්වන්නට ඒකට අතගහන්නට බැහැ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.


    ගෞරවාර්භ කොටපිටියේ රාහුල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වෙත කෝට්ටේ පාර්ශවයේ අනුනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රධානය කිරීම නිමිත්තෙන් පසුගිය 30 වැනිදා වාද්දූව තල්පිටිය බෝධීරාජාරාමයේ පැවති උත්සවයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ය.

    වැඩිදුරටත් අඳහස් දැක්වූ අග්‍රමාත්‍යතුමා,

    මේ රටේ අධ්‍යාපනය ආරම්භ කරන ලද්දේ අපේ විහාරස්ථාන හා පිරිවෙන්වලිනුයි. එම නිසා එදා සිට මේ දක්වා අපේ පැවිදි පක්ෂය මේ රටේ උගතුන් බිහිකොට තිබෙනවා. අද විශේෂයෙන්ම කොට්ටේ පාර්ශවයේ නව අනුනායක හැටියට අපේ කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේ පත්කොට තිබෙන්නේ ඒ සම්ප්‍රධාය ඉදිරියට ගෙනයාම සඳහායි. උන්වහන්සේ පාලී භාෂාව පිළිබඳ විශේෂදැනුමක් ලබාගත්තා පමණක් නොව, මේ රටේ රුහුණු විශ්වවිද්‍යාලය, කැලණි විශ්වවිද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාලවල සේවය කොටඋසස් තනතුරු ලබගෙන තිබෙනවා.

     

     අද විශේෂයෙන්ම අපේ සංඝරත්නය ඒ උගත්කම හා දැනුම, බුද්ධාගම ගැන පමණක් නොවඅනෙක් කටයුතු පිළිබඳවත් උපයෝගී කර ගනිමින්, අපේ ශාසනය ආරක්ෂා කොට ගනිමින් ඉදිරියට ගෙන යනවා. අතීතයේ අපේදෙමව්පියන් කතා බස් කළේ, උගත් පඬිවරුන් හා උගත් හාමුදුරුවරුන් වහන්සේලා ගැනයි. එම නිසා අපේ නව අනුනායක ස්වාමීන්වහන්සේත් ඒ සම්ප්‍රදාය ඉදිරියට ගෙනයන බවට අපේ කිසිම සැකයක් නොමැති අතරම, අපි උන්වහන්සේට ඒ සඳහා සම්පූර්ණ සහය ලබාදීමට ද බලාපොරොත්තු වෙනවා.

     

    එපමණක් නොවෙයි වර්තමානයේ අපේ සංඝයා වහන්සේලා, විදේශ රටවලට චාරිකා කොට ඒ රටවල විවිධ නායකයින් මුණගැසීතිබෙනවා. දළයි ළාමා, ශුද්ධ වූ පාප් වහන්සේ මුණගැසී තිබෙනවා. ආගම් හා නොයෙකුත් භක්තිකයන් අතර එම සම්බන්ධතාවය අත්‍යවශ්‍යයි. ඒ සම්බන්ධතාවය අපේ අනුනායක ස්වාමීන් වහන්සේ මඟින් තවදුරටත් ශක්තිමත් වන බවට මගේ කිසිඳු සැකයක් නැහැ.

     

    විශේෂයෙන්ම මීට කළින් සිදු කළ දේශනයන් හි දී අපේ පාලී ශබ්ද කෝෂයේ ඇති අඩු පාඩු පිළිබඳව හා ඒ වගේම රෝමානු අකුරුවලින් අපේ ගාථා හා පොත් පත් තවම සකස් කොට නැති බව සඳහන් කෙරුණා. ඒ සඳහා අවශ්‍ය මුදල් සහ අනෙකුත් සහයෝගය රජයක් වශයෙන් ලබාදීමට සූදානම් බව මා මෙහි දී ප්‍රකාශ කරන්නට කැමතියි. ඔබ වහන්සේලා සාකච්ඡා කොට ඒපිළිබඳව දැන්ම් දීමෙන් පසුව මා ජනාධිපතිතුමාත් සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කොට ඒ වැඩ කටයුතු කරන්නට බලාපොරොත්තුවෙනවා. එම කාර්යභාරය අප විසින් කළ යුතුයි.

     

    ශ්‍රී ලංකාව අපේ ථෙරවාදී බුදුදහම ආරක්ෂා කොට අපිට ඉතිහාසයක් ලබාදුන්නා. ලංකාව යළිත් ථෙරවාදී බුදුදහමේ මධ්‍යස්ථානයක් කළ යුත්තේ කෙසේ ද කියා අපි දැන් කල්පනා කළ යුතුයි. එසේ කටයුතු කරන අතරම මහායාන බුදුදහම පිළිබඳවත් අපගේ අවධානය යොමු කළ හැකියි. ඒ කටයුතු කළ යුතු අන්දම පිළිබඳව අපේ ගරුතර මහා සංඝරත්නය අපට උපදෙස් දෙන්නේ නම් ඒසඳහා අප විශේෂයෙන් ම කැපවී සිටින බව මා මෙහි දී සඳහන් කිරීමට කැමැතියි. අපේ මහානායක ස්වාමීන් වහන්සේලා සමඟ සාකච්ඡා කිරීමට මාත් පැමිණීමට බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිකල් නොයවා උපදෙස් ලබාදෙන්නේ නම් අපටමේ පිළිබඳව අනෙකුත් රටවල සංඝයා වහන්සේලාද මෙරටට කැඳවා ඔබ වහන්සේලා දෙන උපදෙස් අනුව කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා.

     

    අද අපට ති‍බෙන්නේ ලංකාවේ මහා සංඝරත්නය තවදුරටත් ශක්තිමත් කිරීමටයි. ඒ සම්බන්ධයෙන් මෙහි දී මා විශේෂයෙන් කරුණක් සඳහන් කරන්නට කැමැතියි. අද අපි භික්ෂු කතිකාවතක් ඉදිරිපත් කොට තිබෙනවා. මෙය කතා නායකතුමා හා ඇමැති හැටියට විජයදාස රාජපක්ෂ මහතා සකස් කළ එකක් බවට සමාජයේ මතයක් පවතිනවා. එය වැරදියි. අපි කටයුතු කරන්නේ අපේ මහානායක ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් අනුවයි. පාර්ලිමේන්තුව සහ විධායකය හැටියට සිතා බලා ආර්ථිකය, අධ්‍යාපනය ඇතුළු අනෙකුත් අංශ ගැන නීති හදන්නට නීති සංශෝධනය කරන්නට අපේ කැමැත්ත අනුව අපට පුළුවන්. එහෙත් ආගමික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ දී අපි ආගමික නායකයින් සමඟ එක්ව කටයුතු කරනවා මිස, අපිට ඊට මැදිහත්වන්නට ඒකට අතගහන්නට බැහැ.

     

    කිසිම ආගමික ව්‍යවස්ථාවකට හා ධර්මයේ කටයුතුවලට කිසිම ආණ්ඩුවකට ඇඟිලි ගහන්නට බැහැ කියා ඩී. එස්. සේනානායක අගමැතිතුමා ප්‍රකාශ කළා. අපි මහානායක ස්වාමීන් වහන්සේලාගේ අදහස් විමසා තිබෙනවා. ගරුතර මහා සංඝරත්නය මේ පිළිබඳව සාකච්ඡාකොට අපට දැනුම් දීමෙන් අනතුරුව ඒ අන්දමට සම්මත තරනවා. මේ අවස්ථාවේ දී අපි ක්‍රියා කරන්නේ අපේ කැමැත්ත අනුව නොව මහානායක ස්වාමීන් වහන්සේලාගේ කැමැත්ත අනුව බව නැවත වරක් මා ප්‍රකාෂ කරන්නට කැමැතියි.

    ක්‍රිස්තියානී පල්ලියේ ප්‍රශනයක් පැන නැගී තිබේ නම් අපි කටයුතු කළ යුත්තේ එහි ආගමික නායකයින් ගේ කැමැත්ත අනුවයි. අපේ කැමැත්ත අනුව නොවේ. ජනතාව විටින් විට පාරට බැහැලා බඩු මිල අඩුකරන්න කියලා, නැත්නම් මානව හිමිකම් ශක්තිමත් කරන්න කියලා අපට කියනවා. ඒ ඉල්ලීම්වලට අවධානය යොමුකොට ඒවා කරනවාද නැද්ද කියලා තීරණය කරන්න අපට පුළුවන්. ඒත් මේ කටයුත්තේ දී අපට එහෙම කරන්න බැහැ. මෙවැනි කතිකාවතක් ගෙන එනවිට ප්‍රශන ඇති වෙනවා. ඒක පුදුමයක් නොවෙයි. ඒ වගේම අපි දන්නවා සමහර සමාජ ප්‍රශන ගැන කතෝලික මහ සභාවේ ප්‍රශ්න තිබුණා. ශ්‍රද්ධ වූ පාප් වහන්සේ ඒ අය රෝමට ගෙන්වා ඔවුන් සමඟ සාකච්ඡා කොට ඒ ගැන විසඳුම් ලබාදුන්නා. මම හිතන්නේ නැහැ එහි දී කවුරුවත් රෝම නගරයට ගිහිල්ලා පෙළ පාලී ගියා කියලා. ඒවා කරන්නට උවමාන නැහැ.

     

    දැන් එංගලන්ත සභාවේ ඊට වඩා විශාල ප්‍රශ්න තිබෙනවා. සමහර විට මේ නිසා එංගලන්ත සභාව දෙකට කැඩෙන්නත් පුළුවන්. අප්‍රිකානු රාජගුරු ප්‍රසාදීන් වහන්සේලා එක් පැත්තක. කැනඩාව අනෙක් පැත්තේ. දැන් කැන්ටබරි රාජගුරු ප්‍රසාදීන් වහන්සේලා ලැම්බට් මාලිගාවට ගෙන්වා මේ ගැන සාකච්ඡා කරනවා. මේ ගැන එංගලන්ත සභාවේ අය බලාගෙන ඉන්නවා. එංගලන්ත සභාවට සම්බන්ධ පැවිදි අය ලන්ඩන් නුවර පෙළපාලී යන්නේ නැහැ. ආණ්ඩුවට කෑ ගහන්නේ නැහැ. මේක විසඳන්න කියලා කැමරන් අගමැතිතුමාට කියන්නේ නැහැ. එතුමාට ඒක කරන්න බැහැ. සාකච්ඡා කොට විසඳුමකට ඒමටයි තිබෙන්නේ. එවැනි සම්ප්‍රධායකුයි පවතින්නේ. ක්‍රිස්තියානී ආගමට කලිනුයි බුදුරජාණන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ. අපි ඒ විදියට ඉදිරියට යමු.

     

    මේ ගැන අදහස් තිබෙනවා නම් ලිපි තිබෙනවා නම් පළ කරන ලෙස මම විශේෂයෙන්ම මාධ්‍යයෙන් ඉල්ලනවා. ඒ වුණාට ඇතැම් අනවශ්‍ය දේවල් පත්තරවල මුල් පිටුවේ පළ කරන්නට එපා. එහෙම කළාම ගරුතර සංඝරත්නයට තිබෙන සැලකිල්ල අඩු වෙනවා. මාධ්‍ය මේ බව මතක තබාගන්න. මේ හැම එකක්ම විකුණන්න ගියාම හරි යන්නේ නැහැ නේද? ඒ නිසා විශේෂයෙන්ම ශ්‍රී ලංකාව අපේ ථෙර්වාදී බුදුදහමේ මධ්‍යස්ථානය බවට පත් කරන්නට කටයුතු සිදුකිරීමට බලාපොරොතේතු වන මේ අවස්ථාවේ දී ඒ කටයුතු ශක්තිමත් කොයට ඉදිරයට යන අන්දම පිළිබඳව සාකච්ඡා කරමු කියලා මා මෙහි දී ප්‍රකාශ කරන්නට කැමතියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya