අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හරිත බලශක්ති සංවර්ධනයට ඇ.‍ඩො. මිලියන 300ක මුල්‍යාධාර

    නොවැම්බර් 27, 2014

    පිවිතුරු බලශක්ති උත්පාදනය, පද්ධති කාර්යෂමතාව‍ සහ විශ්වාසනීයත්වය වැඩිකිරීම මඟින්  පිවිතුරු හා විශ්වාසදායි බලශක්ති සම්පාදනයකට ඇති ප්‍රවේශය ඉහළ නැංවීමේ අරමුණින් රජය, හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඇ.‍ඩො. මිලියන 300ක මුල්‍යාධාර ලබා ගැනීම‍ට ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා කර ඇත.


    ශ්‍රී ලංකාවේ නැගී එන ආර්ථික ක්‍රියාකාරකම් සමඟ විදුලිබල ඉල්ලුම ශීඝ්‍ර ලෙස වැඩිවෙමින් පවතී. දැනට 96%ක් වන ජාතික විදුලිකරණ ප්‍රතිශතය වැඩිකිරීම සහ අනාගත විදුලිබල ඉල්ලුම සපුරාලීම සඳහා වසර 2020 වන විට මෙගා වොට් 2502ක අතිරේක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කළ යුතු ව ඇත. එම නිසා රජය අවම පිරිවැයකින් බලශක්ති සුරක්ෂිතතාව ඇති කිරීමටත් බලශක්ති ප්‍රභව විවිධාංගීකරණය සහ පිවිතුරු හා සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති ප්‍රභව විදුලි උත්පාදන‍ය සඳහා යොදා ගැනීම දිරිමත් කිරීමටත් ප්‍රමුඛතාව ලබා දී ඇත.

    ඒ අනුව, මෙම ව්‍යාපෘතිය මඟින් රජයේ බලශක්ති ආයෝජන වැඩසටහනෙහි අන්තර්ගත හරිත බලශක්ති සංවර්ධන ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇති අතර සම්ප්‍රේෂණ පහසුකම් වැඩිදියුණු කිරීම තුළින් පුනර්ජනනී‍ය බලශක්ති උත්පාදනයෙහිලා  පෞද්ගලික අංශයේ ආයෝජනයන් දිරිමත් කිරීමටත්, ඒ සඳහා පහසුකම් සැලසීමටත් සහය වනු ඇත. මී‍ට අමතර ව,මෙම වැඩසටහන ජල විදුලිය උත්පාදන‍යට හා බලශක්ති සම්ප්‍රේෂණ යටිතල පහසුකම් සංවර්ධනය‍ටද දායක වනු ඇත.

    මෙගා වොට් 30ක මොරගොල්ල ජලවිදුලි බලාගාරය ඉදිකිරීම, කෙරවළපිටිය (කි.වොට් 220/33), කප්පල්තුරෙයි (කි.වොට් 220/132/33), කළුතර හා කැස්බෑව (කි.වොට් 132/33) හි නව ජාල උප පොළවල් 4ක් හා ආශ්‍රිත පහසුකම් සහ බස්නාහිර, නැගෙනහිර  හා උතුරු මැද පළාත්හි කටුනායක හා පැරණි අනුරාධපුර කි. වොට් 132/33 ජාල උප පොළවල් වැඩිදියුණු කිරීම, නැගෙනහිර හා වයඹ පළාත්වල වව්නතිවු හා මාදම්පේ ප්‍රදේශ ආශ්‍රිත ව කි.වොට් 33 බෙදා හැරීමේ මාර්ග හා ග්‍රැන්ට්‍රි ඉදිකිරීම සහ කොළඹ නගරය තුළ ඉල්ලුම් කළමනාකරණය මත උප නියමු ව්‍යාපෘති ඉදිකිරීම භෞතික ආයෝජන යටතේ මෙම වැඩසටහනෙහි පළමු අදියරේ ව්‍යාපෘතියට ඇතුළත් වනු ඇත. පළමු අදියරෙහි භෞතික නොවන ආයෝජනයන් යටතේ අනාගත බහු අදියර මුල්‍යයන පහසුකම් ආයෝජන සැකසීම ද  ප්‍රාග්ධන ආයෝජන ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය ද ඇතුළු ව ව්‍යාපෘති කළමනාකරණය සහ සක්‍යතා ගොඩනැංවීම ශක්තිමත් කිරීම ද යෝජිතය.

    මෙම වැඩසටහනෙහි සමස්ත ආයෝජනය ඇ.ඩො. මිලියන 440කි. එම පිරිවැයෙන් ඇ.ඩො. මිලියන 300ක් බහු අදියර මුල්‍යයන‍ පහසුකම යටතේ ආසියානු සංවර්ධන බැංකුව මඟින් ලබා දෙන අතර පළමු අදියර යටතේ ඇ.ඩො. මිලියන 150ක් ද ලබා දෙනු ඇත.

    විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ලංකා විදුලිබල මණ්ඩලය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනය වශයෙන් කටයුතු කරනු ඇත. මෙම සමස්ත වැඩස‍ටහන 2020 මාර්තු  31 වන දිනෙත් අවසන් වීමට නියමිත අතර එහි ප්‍රථම අදියර 2019 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් කිරීමට සැලසුම් කර ඇත.

    මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දර මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන්  හා ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික නියෝජිත ශ්‍රී විදෝවතී මහත්මිය ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන්  මේ සඳහා වන ණය ගිවිසුම් දෙකක් සඳහා පසුගියදා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේදී අත්සන් තබනු ලැබූහ.

    මෙම අවස්ථාවට ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති වෙන්කායි ෂැංග් මහතා ද සම්බන්ධ විය.

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya