අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලබන වසරේ දී රජයේ ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියේ වෙනසක් Featured

    දෙසැම්බර් 07, 2016
    රජයේ ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය ලබන ජනවාරි මාසයේ සිට සංශෝධනය කිරිමට තීරණය කොට ඇති බවත් ක්ෂණිකව අවශ්‍ය උපකරණ සති 02ක් තුළ ද, අනෙක් උපකරණ මාස 2 1/2ක් තුළ ද අවසන් කිරීමට ඒ අනුව හැකිවන බවත් පවතින ක‍්‍රමෙවිද වෙනස් නොකර රට සංවර්ධනය කිරීමට නොහැකි බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ බොරැල්ල කාසල් කාන්තා රෝහලේ නොමේරූ ළදරු ඒකකය සඳහා කෘත‍්‍රීම ශ්වසන යන්ත‍්‍රයක් පරිත්‍යාග කිරීම වෙනුවෙන් ඊයේ (06) පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.
     
    වෙළෙඳ ව්‍යාපාරිකයෙකු වන පී.එචි.ඩි. වෛද්‍යතිලක මහතා විසින් රුපියල් ලක්ෂ 26ක වටිනාකමකින් යුත් මෙම කෘත‍්‍රීම ශ්වසන යන්ත‍්‍රය රෝහලට පරිත්‍යාග කරන ලදි. 
     
    ශ‍්‍රී ලංකාවේ වසරකට දරු උපත් ලක්ෂ 3 1/2 ක් සිදුවන අතර, ඉන් සියයට 10ක් නොමේරූ ළදරුවන් බව සෞඛ්‍ය සංඛ්‍යා ලේඛන අනාවරණය කරයි. බොරැල්ල කාසල් කාන්තා රෝහලේ මසකට දරු උපත් 1200ක් සිදු වෙයි. ඉන් දරුවන් 40ක් පමණ නොමේරූ ළදරුවන් බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ගාමිණී සෙනවිරත්න මහතා පවසයි. 
     
    "මෙම රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමන් කුමාර මහතා වෛද්‍ය වගකීම ඉටු කරමින් නොමේරූ ළදරුවන්ගේ ජිවිත බේරා ගැනීමට කටයුතු කරනවා. ඇතැම් වෛද්‍යවරු නොතේරෙන නිසා වැඩවර්ජනවල නිරතවන රටක් තමයි අපට තිබෙන්නේ. විදේශීය රටවලට ගොස් අධ්‍යාපනය ලබා තම උපන් රටේ සේවය කිරීම උදාර කර්තව්‍යයක්. එම සේවාව අඛණ්ඩව ලංකාවට ලබාදිය යුතුයි".
     
    මෙවැනි කෘත‍්‍රීම ශ්වසන යන්ත‍්‍ර සියලු ම දරු උපත් සිදුවන රෝහල්වලට ලබාදිය යුතු බවත් එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය තුළ ඊට මාස 09ක් ගත වන බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා එබැවින් අමාත්‍ය මණ්ඩලයට මේ පිළිබඳ ව කරුණු ඉදිරිපත් කොට ඇති බවත් පෙන්වා දුන්නේය.
     
    "කාසල් රෝහල ද සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. එය මාතෘ රෝහලක් ලෙස සියලු පහසුකම් සහිතව සංවර්ධනය කිරීමට නියමිතයි. වසර 25 ක ඉදිරිය දෙස බලා සංවර්ධන කටයුතු කළ යුතුයි. ඇතැම් අය රෝහල්වලට පරිත්‍යාග සිදු කරන්නේ නම ප‍්‍රසිද්ධ කර ගැනීමටයි. නමුත් කෘත‍්‍රීම ශ්වසන යන්ත‍්‍රයක් රෝහල්වලට පරිත්‍යාග කිරීමෙන් ජිවිත රැසක් බේරා ගන්නවා. එය පුණ්‍යකර්මයක්”  යැයි  ද වැඩිදුරටත් පැවැසීය. 
     
    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ මහත්වරු ඇතුලු රෝහල් වෛද්‍යවරුන් රැසක් එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya