මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව අද ඇරඹේ Featured

    නොවැම්බර් 30, 2015

    එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව අද (30) ප්‍රංශයේ පැරිස් නුවර දී ආරම්භ වන අතර එය දෙසැම්බර් 11 දක්වා පැවැත්වීමට නියමිතය.

    2015 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව සඳහා එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් අතරින් රාජ්‍ය නායක නායිකාවන් 80 දෙනෙකු පමණ සහභාගීවිමට නියමිතව ඇත. රටවල් 183ක නියෝජිතයින් මෙම සමුළුව නියෝජනය කරනු ඇත. රාජ්‍ය නියෝජිතයින් 25,000ක් ඇතුළුව අන්තර් රාජ්‍ය ආයතන, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන, රාජ්‍ය නෙවන සංවිධාන සහ සිවිල් සමාජවල සාමාජිකයින් 50,000කට අධික සංඛ්‍යාවක් මෙම සමුළුවට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

     

    මෙම සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඊයේ (29) ප්‍රංශයේ චාල්ස් ඩිගෝල් (Charles de Gaulle) ගුවන්තොටුපළ වෙත ළඟාවිය.

     

    ලෝකයේ රටවල් වැඩිම සංඛ්‍යාවක් මෙම සමුළුව නියෝජනය කරන පළමු අවස්ථාව මෙය වන අතර ලොව පුරා දේශගුණික විපර්යාස නිසා මුහුණ දීමට සිදු වී ඇති ආපදා තත්වයන් හේතුවෙන් ලොව සතරඅත රාජ්‍ය නායකයන්ගේ අවධානය මීට යොමු වී ඇතැයි පාරිසරික විචාරකයෝ මත පළ කරති.

     

    සෙල්සියස් අංශක 2 ට අඩු ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම තබා ගැනීමේ අරමුණ පෙරදැරිව දේශගුණය සම්බන්ධව ලෝකයේ රටවල් අතර නීත්‍යනුකූල විශ්වීය ගිවිසුමක් ඇති කර ගැනීම මෙම සමුළුවේ දී සිදු කෙරෙනු ඇත.

     

    කෙසේ වෙතත්, වත්මන් බොහෝ රටවල විශාල ගැටළුවක් වී ඇති කාබන් විමෝචනය පිළිබඳව බරපතල ලෙස සාකච්ඡා කිරීමට මෙය මරමස්ථානයක් වනු ඇත. එසේම කාබන් විමෝචනය වැඩිම සිදුවන රටවල් ලෙස සැලකෙන එක්සත් ජනපදය, චීනය සහ ඉන්දියාව රාජ්‍ය නායකයින් ද මෙම සමුළුවට සහභාගී වෙති.

     

    පසුගිය නොවැ.13වෙනිදා ප්‍රංශයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයන් හේතුවෙන් පැරිස් නුවර ආරක්ෂාව තර කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. පාරිසරික පෙළපාලි යාම්, උද්ඝෝෂණ ව්‍යාපාර සහ විරෝධතා දැක්වීම් දැඩිව පාලනය කිරීමටත් ප්‍රංශ රජය පියවර ගෙන ඇති අතර වත්මන් දේශගුණික ගැටළු සඳහා විධිමත් පිළියම් යෙදීමට ඉල්ලමින් ඇතැම් උද්ඝෝෂකයින් සිය පාවහන් ගලවා සමුළුව පැවැත්වෙන ස්ථානයට නුදුරින් තබා ඇති බව දක්නට ලැබෙන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

     

    1995 බර්ලින් නුවර දී පළමු මෙම දේශගුණික විපර්යාස සමුළුව පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya