මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතිය අප්‍රේල් මස අග භාගයේ ජනතා අයිතියට පත්කිරීමට පියවර

    අප්‍රේල් 06, 2024

    උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතිය අප්‍රේල් මස අගභාගයේ දී විවෘත කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබා දුන් බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.

    අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ (05) වාරිමාර්ග අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

    වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ යන මහත්වරු සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සමන් දර්ශන පාඬිකෝරාළ මහතා, විදුලි බල මණ්ඩලයේ උප සභාපති ඉංජිනේරු D.K.P.U ගුණතිලක මහතා, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අබේවර්ධන මහතා සහ උමාඔය ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු D.C.S ඇළකන්ද මහතා ඇතුළු නිලධාරීන් ද මෙම සාකච්ඡාව ට කැඳවා සිටියහ. උමාඔය බහුකාර්‍ය ව්‍යාපෘතිය 2011 වසරේ ආරම්භ කරනු ලැබූ අතර, ඒ සඳහා ඇස්තමේන්තු කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 513 කි.

    එම මුදල ඉරාන රජයේ ණය ආධාරයක් ලෙස ලැබීමට නියමිතව තිබුණි, එහෙත් ඉරාන රජයට බලපෑ සම්භාධක ගැටළුව හේතුවෙන් එරට ආර්ථිකය දැඩි අර්බුදයකට ලක්විය. ඒවන විටත් අමෙරිකානු ඩොලර් මිලියන 50ක පළමු වාරිකය ලැබී මෙම බහුකාර්ය ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කර තිබූ හෙයින්, එය අතරමග නවතා නොදමා ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන මත උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන ලදී.

    උමාඔය ව්‍යාපෘතිය යටතේ පුහුල්පොල සහ ඩයබරා ජලාශයන්හි වේලි ඉදිකර එහි ගබඩාවන ජලය, කිලෝමීටර් 23ක් වූ උමං මාර්ගයක් ඔස්සේ, භූගතව ස්ථානගත කර ඇති ටර්බයින් යන්ත්‍ර දෙකක් වෙත රැගෙන ඒම සිදුවේ. ඒ මගින් ජල විදුලබලය නිෂ්පාදනය වන අතර, මෙගාවොට් 120ක විදුලි ධාරිතාවයක් මේ හරහා ජාතික විදුලිබල පද්ධතියට එක්කෙරේ.

    විදුලිබල උත්පාදනයෙන් පසු එම ජලය අලිකොට ආර, හඳපානාගල හා කුඩාඔය ජලාශ දක්වා රැගෙන එනු ලැබේ. ඒ මගින් පැරණි හා නව කුඹුරු අක්කර 20,000කට යල සහ මහ දෙකන්නය සඳහාම ජලය සැපයීම සිදුකෙරේ.

    කිරිඳිඔය ද්‍රෝණිය හරහා ඌව වෙල්ලස්ස ගොවි බිම් සශ්‍රීක කරමින් බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්ක වල ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව ද පූර්ණ කිරීමට මෙමගින් හැකියාව ලැබෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya