මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා - එක්සත් රාජධානි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පත් කෙරේ

    අගෝස්තු 15, 2023

    ශ්‍රී ලංකා - එක්සත් රාජධානි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පත් කෙරිණි.

    ශ්‍රී ලංකා - එක්සත් රාජධානි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නවවැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

    මෙම රැස්වීමට ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ වැඩබලන මහ කොමසාරිස් ලීසා වැන්ස්ටෝල් මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පිරිසක් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.‍

    මෙහිදී රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්.එම්. මුෂාරෆ් සහ අශෝක් අබේසිංහ යන මහත්ම මහත්මීන් මිත්‍රත්ව සංගමයේ උප
    සභාපතිවරුන් ලෙස පත් විය.

    එම්.ඒ. සුමන්තිරන් මහතා ලේකම්වරයා ලෙසත්, හර්ෂණ රාජකරුණා සහකාර ලේකම්වරයා ලෙසත් පත් කරන ලද අතර, භාණ්ඩාගාරික ලෙස  සාගර කාරියවසම් මහතා පත් කෙරිණි.

    මෙම අවස්ථාවේ අදහස් දක්වමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර දශක හතක කාලයක සිට පවතින ද්වීපාර්ශ්වික සබඳතා තුළින් මෙරටට ලබා දුන් සියලු සහයෝගයන් සඳහා ස්තුතිය පළ කරන බවයි.

    එසේම ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන වෙස්ට්මිනිස්ටර් පදනම (WFD) හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා සම්මන්ත්‍රණ, වැඩමුළු සහ අධ්‍යයනචාරිකා මගින් අවස්ථාවන් ලබාදීම සම්බන්ධව කෘතවේදී වන බවද සඳහන් කළේය.

    මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ වැඩබලන මහ කොමසාරිස් ලීසා වොන්ස්ටෝල් මහත්මිය ප්‍රකාශ කළේ, ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි බහුපාර්ශ්වික සංවිධාන හරහා එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවට සහාය දැක්වීම පිළිබඳ සතුටු වන බවයි. එසේම, ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අනෙකුත් ණය දෙන්නන් සහ ශ්‍රී ලංකා රජය සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

    රැස්වීමේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා - එක්සත් රාජධානි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සංගමයේ සභාපතිවරයා ලෙස තමන්ව තෝරා පත් කර ගැනීම පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය.

    තවද මේ හරහා එක්සත් රාජධානි සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සහ වර්ධනය කිරීමට කටයුතු කිරීමට තමන් අපේක්ෂා කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya