මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ආයෝජන අවස්ථා බිහි කිරීමේ ජාතික වගකීම ඉටුකිරීමට සංචාරක දුම්රියෙන් නව මාවතක් විවර වනවා- ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය

    අගෝස්තු 06, 2023

    "ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවමින් නව ආයෝජන අවස්ථාවන් බිහි කිරීමේ ජාතික වගකීම ඉටුකිරීමට සංචාරක දුම්රියෙන් නව මාවතක් විවර වනවා."

    ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ කෙරුණු සීතාවක ඔඩෙසි දුම්රියට පවතින ඉහල මගී ඉල්ලුම පිලිබඳ විශේෂ අවධානය යොමු කළ අමාත්‍යවරයාගේ උපදෙස් හා මඟ පෙන්වීම පරිදි "ශනිදා සීතාවක ඔඩෙසි" නමින් සෙනසුරාදා දිනයේද සංචාරක දුම්රියක් ගමන් ආරම්භ කිරීම 08/05 දින සිදු කෙරිණි.

    එහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා,
    "සීතාවක ප්‍රදේශය ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කොට ප්‍රවර්ධනය කිරීම අරමුණ සහිතව පසුගිය ජනවාරි මාසයේ සීතාවක ඔඩෙසි දුම්රිය ආරම්භ කරනු ලැබුවේ ප්‍රදේශයේ සුන්දර පරිසරය හා විශේෂ ස්ථාන වෙත සංචාරය කිරීමේ නව අත්දැකීම ජනතාවට ලබා දීම සඳහායි. මේ වන විට ඉරිදා දිනයේදී එය සම්පුර්ණයෙන්ම මගීන්ගෙන් පිරී යන තරමට විශාල ඉල්ලුමක් ඇතිවී තිබෙනවා. ඒ පිලිබඳ සැලකිල්ල යොමු කරමින් සෙනසුරාදා දිනයේදීද නව දුම්රියක් ආරම්භ කිරීමට අප කටයුතු කරනු ලැබුවා.
    කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝ දෙනෙකුටත් මඟ හැරී තිබෙන මෙම සෞන්දර්යාත්මක අත්දැකීම් පිලිබඳ පණිවිඩයක් රටට ලබා දීමට චීන, වියට්නාම තානාපතිතුමන්ලා, රුසියානු තානාපති කාර්යාලයේ නිලධාරීන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර තුමා ඇතුලු විශේෂ පිරිසක් සහභාගී කර ගනිමින් එහි මංගල චාරිකාව සිදු කරනු ලැබුවා.
    කෙටි කාලයක් තුල අවම පිරිවැයකින් ඉහල සංචාරක අත්දැකීමක්‌ ලබා ගැනීමේ අවස්ථාවක් මේ සමඟ උදා වනවා. සංචාරක ආකර්ෂණය ලබා ගැනීමට අමතරව සීතාවක ප්‍රදේශයේ ඓතිහාසික වටිනාකම් සහිත ස්ථාන නැරඹීම, ප්‍රදේශයේ පවතින ගැමි පරිසරයේ අත්දැකීම විඳ ගැනීමටත් පැමිණෙන සංචාරකයින්ට අවස්ථාව හිමි වනවා.
    ඒත් සමග ප්‍රදේශයේ ජනතාවට නව ආදායම් මාර්ග උත්පාදනය වනවා මෙන්ම, ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවමින් නව ආයෝජන අවස්ථාවන් බිහි කිරීමේ ජාතික වගකීම ඉටුකිරීමට නව මාවතක් විවර වනු ඇති බවට මා විශ්වාස කරනවා.
    ගරු අග්‍රාමාත්‍යතුමාගේ මැතිවරණ ප්‍රදේශය ලෙස මෙම ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම පිළිබඳව එතුමාගේ ද විශේෂ අවධානය නිරන්තරයෙන් යොමු වනවා. අප විසින් ආරම්භ කරන ලද මෙම සංකල්පය තුළින් ඇල්ල, දකුණු පළාත වැනි දිවයිනේ ජනප්‍රිය සංචාරක ගමනාන්ත අතරට සිතාවක ප්‍රදේශය ද නුදුරේදීම එක් වනු දැකීම අපගේ බලාපොරොත්තුවයි."

    කොළඹ ප්‍රදේශයට ජලය සපයන ප්‍රධානම ජලාශයක් වන කලටුවාව ජලාශය සහ එහි කටයුතු සිදු කෙරෙන ආකාරය, සුවිශේෂී සංචාරක ආකර්ෂණයක්‌ හිමිවන රන්මුදු ඇල්ල ඇතුලු ස්ථාන රැසක සංචාරය කිරීමේ අවස්ථාව සීතාවක ඔඩෙසි සංචාරක දුම්රිය ගමනට එක්වූ පිරිසට හිමි විය.
    නව දුම්රිය ගමන් ආරම්භය සිහිපත් කිරීම වෙනුවෙන් විශේෂ රුක් රෝපණ වැඩසටහනක්ද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රමුඛ විදේශ තානාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් සිතාවක උද්භිත උද්‍යානයේදී සිදු කෙරිණි.
    වැඩසටහනේ අවසන් අංගය ලෙස දේශීය සංස්කෘතිය විදහා දැක්වෙන සංස්කෘතික සංදර්ශනයක්‌ ද උද්භිද උද්‍යාන පරිශ්‍රයේදී ඉදිරිපත් කරනු ලැබීය.

    මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති චී සෙන්හොන්ග් (Qi Zhenhong) මහතා, ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති හෝ ති තන් ටෘක් (Ho Thi Thanh Truc) මහත්මිය, රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී නටාලිය කුලිෂෙන්කෝ (Natalia Kulishenko) මහත්මිය ඇතුළුව මෙරට විදේශ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමා, දිස්ත්‍රික් ලේකම්තුමා, දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යධිකාරී තුමා ඇතුළු නිලධාරීන්, අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන වල ප්‍රධානීන්, දෙස් විදෙස් සංචාරකයින්, මාධ්‍යවේදීන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya