අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට එක්සේසත් කළ ජනපතිගේ දෙවන ගමන

    නොවැම්බර් 18, 2014

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දෙවන වරට ජනාධිපති ධූරයේ දිවුරුම් දී වසර 04ක් පිරීම නිමිත්තෙන් විවිධ පැතිකඩ ඔස්සේ පළවන ලිපි බොහෝය. මෙම ලිපිය එයට වෙනස්  වන්නකි. වසර 25කට පෙර මහින්ද රාජපක්ෂයන් ජවිපෙ සහ එජාප රාජ්‍ය භීෂණයට මුහුණ දෙමින් 1989 මහ මැතිවරණයට මුහුණ දුන් අතර එය ඔහුගේ දේශපාලන ජීවිතයේ දෙවැනි ගමන විය.


    mahinda rajapaksa mp 1වසර 1970 පාර්ලිමේන්තුවට පැමිණි මහින්ද රාජපක්ෂ 1977 මහ මැතිවරණයෙන් වසර 12කට පසු යළි පාර්ලිමේන්තුවට පැමිණියේ 1989දීය. එම යුගයේ ඔහු සමඟ සමීප ව කටයුතු කළ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදි ධර්මන් වික්‍රමරත්න වසර 25කට එපිට එම අතීතය ගැන සිය මතකය මෙසේ ආවර්ජනය කරයි.

     
    දිනය 1988 මාර්තු 04වනදාය. ස්ථානය කොළඹ 07 පිහිටි ඉරෙඩ් ආයතනයයි. සුනිමල් ප්‍රනාන්දු එහි කැඳවුම්කරුය. එපමණක් නො ව වර්තමාන ජනාධිපතිතුමාගේ සියලු ජයග්‍රහණයන්ගේ දෙවන ගමනේ තිඹිරි ගෙයද එම සාකච්ඡාව වූවාට සැක නැත. එයට සහභාගි වූ පිරිස වූයේ ආචාර්ය විලී ගමගේ, කේ.එච්.ඒ. ගොඩාවත්ත, ටී. ජයසිංහ, ධර්මන් වික්‍රමරත්න, එස්. සහබන්දු, අමරසිංහ කුඩගල්ආර, ජස්ටින් දිසානායක, චමල්, මහින්ද සහ බැසිල් රාජපක්ෂ සොහොයුරන්ය.


    කෙදිනක හෝ දකුණින් ජනාධිපතිවරයෙක් බිහි කළ හැකි බව කීවේ බැසිල් රාජපක්ෂයන්ය. සියලු සැලසුම්වල මහ මොළකරු වූයේ ද ඔහුය. සතිපතා ම රැස් වූ අප විවිධ ක්‍රියා සැලසුම් කළෙමු. ඇතැම් අවස්ථාවන්හිදී තංගල්ලේ කාල්ටන්හිද, බැසිල් ඇමතිතුමාගේ ජුබිලි කණුවේ නිවසේ සහ ජනාධිපතිතුමාගේ දෙහිවල නිවසේද සාකච්ඡා පැවැත්විණි. නව ආරක වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කෙරිණි. තංගල්ලේ කාල්ටන්හි බිහිවූ මානව හිමිකම් සුරැකීමේ සහ නීති ආධාර මධ්‍යස්ථානයද මානව හිමිකම් ක්‍රියාකාරකම් සහ උද්ඝෝෂණද ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්ද ඒ අතර විය.
     

    වසර 1987 සිට 1989 කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සහ එජාප ධවල භීෂණයේ උච්චතම අවස්ථාවක් බවට 1988/89 වසරයන් පත් වී තිබුණි. දකුණේ මහා තරුණ සංහාරයට එරෙහි ව අවි අමෝරා ගත් නියමුවන් කිහිප දෙනා අතර අධිනීතිඥ මහින්ද රාජපක්ෂයන් ප්‍රමුඛයකු විය. මාධ්‍ය මගින් මේ පිළිබඳ ව හඬක් නැඟිය යුතු බව ඔහුගේ අදහස විය. තරුණ සිරුරු ටයර් සෑයේ දැවී ගියේය. තංගල්ලේ කාල්ටන් නිවස අතුරුදහන් වූ පවුල්වල අයගේ දුක් සුසුම් සහ අඳෝනාවලින් දෝංකාර දුණි.


    ජනාධිපතිවරණය වර්ජනය කරන්නැයි ජවිපෙ ඉල්ලා සිටියේය. ජවිපෙ සහ එජාප ආණ්ඩුවේ භීෂණය ඒ සමඟ අති උග්‍ර විය. 1988 දෙසැම්බර් 19 වැනිදා පැවති ජනපතිවරණයේ ජය රණසිංහ ප්‍රේමදාසයන්ට හිමි වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ජනපතිවරණයෙන් ජය ගත් ප්‍රේමදාස මහ මැතිවරණය 1989 පෙබරවාරි 15වැනිදාට තීන්දු කළේය. අප නව ජවයකින් යුතු ව මතු ව ඇති තත්ත්වයන්ට මුහුණ දීමට තීරණය කළෙමු.


    සියලු දෙනා ම තංගල්ල කාල්ටන්හි කඳවුරු බැඳ ගත්තේ 1989 මහ මැතිවරණයට මසකටත් කලිනි. සැලසුම් සියල්ල බැසිල් රාජපක්ෂයන් ගෙන්ය. චමල් රාජපක්ෂයන් මැදමූලනේ සිට කටයුතු කළේය. එහෙත් දෙදෙනාගේ ම ඡන්ද ව්‍යාපාරය ඒකාබද්ධ ව මෙහෙයවූයේ එවර මැතිවරණ මූලස්ථානය වූ තංගල්ලේ කාල්ටන් සිටය. කාල්ටන්හි වික්‍රමසූරිය පවුලේ වෛද්‍යවරුන් වන සේන, තිස්ස සහ සුනිල් එදා සිටම රාජපක්ෂ පවුලට ළෙංගතුය. ප්‍රචාරක, ප්‍රවර්ධන, සංවිධාන, ප්‍රවාහන කටයුතු සියල්ල අප වෙත පැවරිණි. සියලු කටයුතු භාරව සිටියේ ආචාර්ය විලී ගමගේය. ආරි වීරරත්න, ධර්මන් වික්‍රමරත්න, එම්.කේ. රංජිත්, පද්මසිරි රාජපක්ෂ, ජස්ටින් දිසානායක, කුඩගල්ආර අමරසිංහ ඇතුළු කිහිප දෙනෙක් ම එම මැතිවරණ සටනේ  නියමුවන් විය. තංගල්ල තානායමේ ජයසිංහ රාළහාමිද යටිතල පහසුකම් සඳහා නොමසුරුව අතහිත දුන්නේය.


    තංගල්ල කාල්ටන්හි 1989 මහ මැතිවරණයේදී අපේ නඩයට බාහිරව වැඩ කිරීමට 200ක් පමණ විය. පැමිණි සියලු දෙනා රාජපක්ෂ පරපුරේ උග්‍ර ආධාරකරුවන්ගේ දෙවන පරපුර විය. එමෙන්ම ඔවුහු මහින්ද මහත්තයාගේ සමීපතම මිතුරන්ය. තාවකාලිකව දේශපාලන අනාථයන් බවට පත් වූ පිරිසක්ද එහි විය. එයට හේතුව ඔවුන් මරා දමන බවට ජවිපෙ දැනුම් දී තිබීමය. එමෙන් ම ජවිපෙ බවට චෝදනා කර එජාප ආණ්ඩුවේ නිලනොලත් කොළ කොටි වැනි සන්නද්ධ කණ්ඩායම් විසින්ද ඔවුන් ඝාතනය කිරීමට ලුහුබඳිමින් සිටියේය.


    mahinda rajapaksa mp 3ගමේ තරුණ අධාරකරුවන් සියලු දෙනාම රක්ෂණය කිරීමට යෝජනා කලේ අධිනීතිඥ මහින්ද රාජපක්ෂයන්ය. ඒ සඳහා හමුවූයේ කාල්ටන් අසල රක්ෂණ නියෝජිතයෙක් වූ වීරකෝන්ය. ඔහුගේ ලිපිකරු වූයේ සරත් අමරවීරය. ඉන් විදහා පෑවේ තම සගයින් වෙනුවෙන් අධිනීතිඥ මහින්ද රාජපක්ෂයන් දැක්වූ කෘතවේදීභාවයයි. කාල්ටන් නිවසේද එහි පසුපස තිබුණු ශිරන්ති රාජපක්ෂයන්ගේ පෙර පාසල් භූමියේ ඉදි වූ තාවකාලික නවාතැනක සියලු දෙනා ම රොද බැඳ ගෙන සිටියහ. මහින්ද මහත්තයා සමඟින් ම සිටිමින් ඔහුට ආරක්ෂාව සැපයුවේ බණ්ඩාර සහ තිලක්ය.


    මහ මැතිවරණය පැවති 1989 පෙබරවාරි මාසයේ රාත්‍රි පහන්වන තෙක් ගත කළ සොඳුරු දිනයන්හිදී වසර 1970දී මහ මැතිවරණය පිළිබඳ ව අතීතය ආවර්ජනය කළේ ආචාර්ය විලී ගමගේය. එදා 1970දී මහ මැතිවරණයට හදිසියේ තරග කිරීමට සිදු වූ මහින්ද රාජපක්ෂයන්ට එදා උදව් කළ පිරිස අතර වෛද්‍යතිලක, විලී ගමගේ, ආරි වීරරත්න, සිංහ අබේගුණවර්ධන, පී.ජේ රත්නායක, පර්සි සූරියපටබැඳි, ජිමී සමරවීර, හෙන්රි සහ ජස්ටින් දිසානායක, මිල්ටන් විතාරණ, කේ.ඩී. හින්නි මහත්තයා පෙරමුණේ ම විය.


    නේරු හින්නි මහත්තයා, අම්බල ලියන මහත්තයා, බෙලිඅත්තේ ගුණපාල මුදලාලි, සෙනරත් රාලහාමි, පුවක්දණ්ඩේ පුංචි මහත්තයා, කුඩා වැල්ලේ මුතුමාල මුදලාලි, සිරිසේන මුදලාලි, තංගල්ලේ අප්පුසිඤ්ඤෝ රාලහාමි, විල්සන් ඉස්කෝලයේ මහත්තයා, විජේතුංග විදුහල්පතිතුමා, අක්‍රම් ගුරුතුමාගෙන් ලැබූ සහයද ඉමහත්ය. මහින්ද මහත්තයාගේ 5 ශ්‍රී 2549 මිට්ෂුබිෂි ජීප් රථයේ රථාචාර්ය වූයේ වාසල පුංචි මහත්තයාය. මහාචාර්ය ඈපාසිංහයන්ගේ බිරිඳට අයත් තංගල්ලේ වාසල වලව්ව 1970 මැතිවරණ මූලස්ථානය විය. හැත්තෑවේ ඡන්දයට වැය වූ මුළු මුදල රුපියල් 9,168කි. වැඩි ඡන්ද 6,600ක සංඛ්‍යාවකින් 1970දී මහ මැතිවරණයේ දී මහින්ද මහත්තයා ජය ගෙන තිබිණි. වසර 1977 මැතිවරණයේදී  හම්බන්තොට පමණක් නො ව මුළු රටින්ම ශ්‍රීලනිපය සෝදා ගියේය.


    මහ මැතිවරණය පැවති 89 වසරේ මසකට ආසන්න කාලය තුළම අධිනීතිඥ මහින්ද රාජපක්ෂයන් සමඟ අපි වැඩ කළෙමු. ඔහු වැඩ ඇරඹුවේ අලුයම 5ටය. ඉන් පසු උදෑසන 6ට නිවසේ කාර්යාලයට එන ඔහු එදින විභාගවන නඩු සහ කළ යුතු කාර්යයන් පිරික්සයි. උදෑසන 6.30 සිට 7.30 දක්වා දිනපතා ඔහු හමුවීමට පැමිණෙන ගිරුවාපත්තුවේ අහිංසක ගැමියන් ගණන අපමණය.


    ඉන් බහුතරයක ම නම් ගම් කියා කතා කිරීමට ඔහු සමත්ය. මුනුබුරෙකු පැමිණි විට සීයාගේ නම මතකයට නංවා අතීතය ආවර්ජනය කරයි. සුව දුක් විමසයි. හැම ප්‍රශ්නයකට ම උපරිම සහනයක් එම මොහොතේ ම ලබාදීමට කටයුතු කරයි. එකල තිබුණේ ස්ථාවර දුරකථන පමණි. ඒවාට නිවාඩුවක් නැත. ඔහු කිසි විටෙක ආඳා මෙන් ජනතාවගේ ප්‍රශ්නවලින් පැන ගියේ නැත. වසර 1987 සිට 90 දක්වා පැවති එජාප පාලන එජාප පාලන සමය රට අරාජික බවට පත්කළේය. එය ගොරකා දඩමස් කරන යුගයකි. දේසේ හැටියට වාසේ කියා නිහඬ ව සිටින්නටද ඔහු සූදානම් නොවීය.


    මැතිවරණ පැවති 1989 ජනවාරි, පෙබරවාරි බොහෝ ගැමියන් මහින්ද මහත්තයා හමුවීමට පැමිණියේ හාල් ගෝනියක්ද රැගෙනය. ඇතැමුන් අත වට්ටක්කා ගෙඩි දෙක තුනකි. තවත් අයෙකු අත පොල් මල්ලකි. පැපොල් ගෙඩි කිහිපයකි. කැකිරි ගෙඩිද දක්නට නොතිබුණා නො වේ. මේ ගැමියන් අහිංසකය. හිත හොඳ මිනිසුන්ය. මැතිවරණයේදි භීෂණයද නොතකා ඔවුහු මහින්ද මහත්තයා දිනවීමට කටින් කට පණිවිඩය රැගෙන ගියහ. මහින්ද මහත්තයා වෙනුවෙන් සැවොම කද බැඳ ගෙන වැඩ කළහ.  හෙතෙම ගමේ අක්මුල් සිඳ නොගත්තෙකි. ගම වෙනුවෙන් පෙනී සිටියෙකි. ගැමි සුවඳ හඳුනන්නෙකි.  උදෑසන හෝ දිවා ආහාර ගන්නා අවස්ථාවේදී කාල්ටන් නිවසේ කෑම මේසය ඕනෑ ම කෙනෙකුට සැමදාම විවෘතය. ඕනෑ ම කෙනෙකුට උපරිමයෙන් සංග්‍රහ කිරීම ඔහුගේ ගතියකි.


    එදා වැඩි ම ගැමි පිරිසක් නීතිඥ මහින්ද රාජපක්ෂයන්ට සහයෝගය පළ කළේ දම්මුල්ල, පල්ලත්තර, බෙලිගල්ල, ගැටමාන්න ඇතුළු ගම්මාන ගණනාවකිනි. ඡන්ද ව්‍යාපාරයේ නිරත වූ බොහෝ දෙනා ඇතැම් දිනයන්හි ස්නානය කළේ බෙලිඅත්ත වලස්මුල්ල පාරේ කහවත්තේ සහ තංගල්ල වීරකැටිය පාරේ කුඹුරු අසල ඇනිකට් එකේය. එවැනි විරාමයකදී ඔහු අසළ නිවසක හිතවතුන් හමුවීමට යයි. තම සගයන් කිසිවකු පිළිබඳ ඔහු සැක නොකළේය. එහෙත් වරදක් දුටු විට එය එළිපිටම කියා සිටියේය. එමෙන් ම එවැනි සිද්ධියක් අමතක කර දැමීමට ඔහු නිහතමානී විය. කලගුණ සැලකීම අතින් ඔහු පෙරමුණේ ම විය.


    mahinda rajapaksa mp 2මැතිවරණ දිනය උදා විය ඒ 1989 පෙබරවාරි 15වැනිදාය. නිවසින් පිටවීමට නැකත තිබුණේ උදෑසන 6ට මොහොතකට පෙරය. එය ප්‍රබල නැකතක් බවත් ජයග්‍රහණය නියත බවත් කීවේ එය පිළියෙල කළ මහරගම ප්‍රකට දෛවඥවරයාය. නිල්, කහ, රතු, සුදු, කොළ වර්ණනයෙන් යුත් ඇඳුමෙන් විචිත්‍ර විය යුතු බව ඔහු කීවේය. නිල් වර්ණයෙන් සාගරය සහ අහස් කුසද, කහ වර්ණයෙන් සූර්යයාද, රතු වර්ණයෙන් ජනතාවද, සුදු වර්ණයෙන් සමඟිය සහ සාධාරණත්වයද කොළ පැහැයෙන් භූමියද නිරූපණය වීම එහි අර්ථය බව ඔහුගේ සටහනේ සඳහන් විය. පෙරමගට සුඛ ලකුණ ලෙස ජල වීදුරුවක් රැගෙන පැමිණියේ ශිරන්ති රාජපක්ෂයන්ය.


    ජවිපෙ විසින් ඡන්දය දමන ප්‍රථම 12 දෙනා ඝාතනය කරන බවට රට පුරා දැනුම් දී තිබේ. 1989 පෙබරවාරි 13 සිට 16 දක්වා නිල නොවන ඇඳිරි නීතියක්ද දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මගින් පනවා තිබිණි. එය රටේ වඩාත් ඉහළින් ක්‍රියාවට නැගුණේ දකුණේ හම්බන්තොටය. එම සියලු තත්ත්වයන් අබිබවමින් ජනයා පෙළ ගසන්නට මහින්ද මහත්තයා සමත් විය. අපේ නඩය උපරිම ජවය සහ ශක්තිය ලබා දුන්නෝය. හෙතෙම එම සියලු බාධක බිඳගෙන හිමිදිරියේ සිට ම තංගල්ල, විතාරන්දෙණිය, පුවක්දණ්ඩාව ගම් නියම් ගම්වල ජනතාව හමුවිය. කාර්මික විද්‍යාල, පාසල් සහ පන්සල්වලට ඡන්දදායකයින් පැමිණියේ මී මැසි පොදි මෙනි. දහවල් වන විට සෙසු ගම්මානද ඒ හා සමාන විය. ධවල භීෂණයේ මරණීය තර්ජන නොතකා ගැමි ජනයා සිය යුතුකම ඉටු කළහ.  


    ජංගම දුරකථන එකල නොවීය. එහෙත් කිලෝමීටර් 35ක් අතර ක්‍රියාත්මක වන වෝකි ටෝකි යන්ත්‍ර කිහිපයක් අප සතු විය. මැතිවරණයේදී ජනතාව ඡන්ද ප්‍රකාශ කිරීමත් සමඟ අප ගියේ හම්බන්තොට දිසාපති කාර්යාලයටයි. ඡන්ද ගණන් කිරීමේ හම්බන්තොට මධ්‍යස්ථානයේ ඔහුගේ ප්‍රධාන නියෝජිතයෙකු වූයේ මාය. ජවිපෙ සහ එජාප ආණ්ඩුවේ මර්දනය සහ භීෂණය මැද පැවති මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වූයේ පසුවදා එනම් 1989 පෙබරවාරි 16වැනිදා පෙරවරු 11.30ට පමණය. මහින්ද සහ චමල් රාජපක්ෂ සොහොයුරෝ ජයග්‍රහණය කර තිබිණි. එය අසමසම ජයග්‍රහණයක් වූයේ පැවති අනේක බාධක සහ භීෂණය හේතුකොට ගෙනය.  


    අපි යළි හම්බන්තොට කච්චේරියේ සිට තංගල්ලේ කාල්ටන් බලා පිටත් වූයෙමු. ගිරුවාපත්තුවේ ගම් පිබිදී තිබිණි. භීෂණය නොතකා නිවෙස්වලින් එළියට ආ ගැමියන් මහින්ද මහත්තයා දිනූ බව අසා කෑ ගසා නැටූහ. යන එන හැම තැනකින් ම ඇසුණේ ජයවේවා හඬ පමණි. ජයග්‍රාහී සතුට සමරන්නට මැදමූලනට සහ කාල්ටන් වෙත සෙනඟ ගලා ආහ. මහින්ද මහත්තයා ඒ ගිරිවාපත්තුවේ අහිංසක ගැමියන් සහ එක් ව සතුට බෙදාහදා ගත්තේය. නව ජවයකින් පියවර දස දහසක් පෙරට යන්නට එම සවිය ප්‍රමාණවත්ය. අපේ නඩය ජයග්‍රහණයේ ප්‍රීතිය භුක්ති වින්දෙමු. මේ සියලු කරුණු කාරණා ඉතිහාසයට එක් වී අදට හරියට ම 26කට ආසන්නය.


    අනුවේ දශකයේ මුල් භාගයේ ම එජාප යකාගේ විමානේට අභියෝග කිරීමට ඔහු සමත් විය. ශ්‍රීලනිපයට 1994දී යළි රජයක් පිහිටුවීමට හැකි වූයේ අධිනීතිඥ මහින්ද රාජපක්ෂයන්ගේ ජව සම්පන්න බලයට පින් සිදුවන්නටය. පාද යාත්‍රා, ජන ඝෝෂා ආදී පෙරළිකාරී මගකට ඔහු යොමු විය. වසර 1994 සිට අද දක්වා සෙසු කරුණු කාරණා ගැන මෙනෙහි කළ යුතු නැත. මන්ද මෑත ඉතිහාසය ගැන බොහෝ දෙනා හොඳාකාරව දන්නා බැවිනි. මාළුවාට පිහිනන්නට ඉගැන්විය යුතු නැත. සියලු ව්‍යසන ගැඹුරු පත්ලේ සඟවාගෙන රැලි නඟන මුහුද සේ ඔහු ද අයෝමය ශක්තියකින් හෙබිය.


    dharman wickramaratnaධර්මන්

    වික්‍රමරත්න

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya