මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක දියවැඩියා දිනය අදයි- කොවිඩ් හමුවේ දියවැඩියා අභියෝගය ජයගන්නේ කෙලෙසද?

    නොවැම්බර් 14, 2020

    ශ්‍රී ලංකාවේ වාර්ෂිකව වැඩිවෙමින් පවතින බෝ නොවන රෝග අප රටෙහි සිදුවන මරණ සහ රෝගාබාධ යන දෙකටම ප්‍රධාන හේතුවයි. ශ්‍රී ලංකාවේ බහුලතම බෝ නොවන රෝග හතරෙන් ඒකක් ලෙස දියවැඩියාව හදුනාගෙන ඇත.


    මෙලෙස දියවැඩියාව වර්තමානය වන විට ජනතාව අතර බහුලව ව්‍යාප්ත වීම හේතුවෙන් ඒම රෝගය පිළිබද වැඩි අවදානයක් යොමු කරමින් සෑම වසරකම ලෝක දියවැඩියා දිනය නොවැම්බර් 14 වන දින සමරනු ලබයි. ඒම දිනය සමරනු ලබන්නේ දියවැඩියා රෝගය වැළැක්වීම, කලින් හදුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ වැදගත්කම පිළිබද සෞඛ්‍ය සේවකයන් හා සාමාන්‍ය ජනතාව දැුවත් කිරීමේ අරමුණෙනි.


    අද ලෝකයම මුහුණපා සිටින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දියවැඩියා රෝගීන් කිසියම් අභියෝගයකට මුහුණපා සිටියි. ඒනම් වර්තමානයේ අසන්නට ලැබෙන පුවත් හමුවේ කොවිඩ් ආසාදිතයන් අතර යම් ජීවිත අවදානම් තත්ත්වයකට මුහුණ පෑමට සිදුවන්නේද කොවිඩ් අසාද්‍ය තත්ත්වයට පත්වන්නේද දියවැඩියාව සහ බෝනොවන රෝග හා නිදන්ගත රෝග වලින් පෙළෙන්නන් හටය.


    මෙම තත්ත්වය තුළ දියවැඩියා රෝගීන් කොවිඩ් රෝග ලක්ෂණ පළකරයි නම් හෝ නිරෝධායනය වෙමින් සිටින අවස්ථාවේ කොවිඩ් ලක්ෂණ පෙන්නුම් කරයි නම් ප්‍රතිකාර ගැනීමට යොමුවීමට කිසියම් අනියත බියක් ඇතිකර ගැනීම නිසා වඩා බරපතල තත්ත්වයන්ට මුහුණ දෙන බව නිතර අසන්නට ලැබෙයි.


    මෙවර ලෝක දියවැඩියා දිනයෙහි තේමාව දියවැඩියාව සහ කොවිඩ් බව රජයේ නිල පුවත් වෙබ් අඩවියට ලෝක දියවැඩියා දිනය පිළිබදව අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේළි මහත්මිය පැවසුවාය.


    වැඩිදුරටත් අදහස් දැක්වූ බෝ නොවන රෝග අධ්‍යක්ෂතුමිය පැවසුවේ ශාරීරික ක්‍රියාශීලීබව, සෞඛ්‍යමත් ආහාර පුරුදු වැනි නිවැරදි ජීවන රටාවක් අනුගමනය කිරීම මගින් දියවැඩියා රෝගය වළක්වාගත හැකි අතර නිසි ප්‍රතිකාර ගැනීම මගින් මෙම රෝගය පාලනය කර සංකූලතා ඇතිවීමද වළක්වාගත හැකි බවයි.


    කොවිඩ් 19 වසංගතය ඇති මේ දිනවල බෝ නොවන රෝගාබාධ ඇති අයට කොවිඩ් 19 රෝගය වැළදීමේ වැඩි අවදානමක් ඇති බව හදුනාගෙන ඇති බැවින් දියවැඩියා රෝගය පාලනය කිරීම වඩා වැදගත් බවද වෛද්‍ය වින්ද්‍යා කුමාරපේළි මහත්මිය පැවසුවාය.


    මෙම කාලසීමාව තුළ රජයේ සායන වලට සහභාගී වන දියවැඩියා රෝගීන් හට අත්‍යවශ්‍ය ඖෂධ නිවසටම ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය බොහෝ උත්සාහයක් ගෙන ඇති බවත්, අත්‍යවශ්‍ය හදිසි ප්‍රතිකාර සදහා රජයේ රෝහල් විවෘතව ඇති බවත් පැවසූ බෝ නොවන රෝග අධ්‍යක්ෂතුමිය වැඩිදුරටත් පැවසුවේ අවුරුදු 60ට වැඩි දියවැඩියා රෝගීන් නිවසින් බැහැර නොගොස් ඔවුන්ගේ නිවසේ සිටින තරුණ ප්‍රජාව මගින් බෙහෙත් ගෙන්වාගැනීමට කටයුතු කරන ලෙසයි.


    ඔබ නිරෝධායනය වන දියවැඩියා රෝගියෙකු නම් ඔබට පහත සදහන් රෝග ලක්ෂණ ඇතිදැයි සැලකිලිමත් වන්න.. ඒනම් රුධිරගත සීනි මට්ටම අඩු වීමේදී ක්ලාන්තය, අධිකව දහඩිය දැමීම, මානසික ව්‍යාකූලත්වය හා වලිප්පුව ඇතිවිය හැකිය. රුධිරගත සීනි මට්ටම වැඩි වීමේදී උදර වේදනාව, ඔක්කාරය හා වමනය, සිහිමද ගතිය ආදිය ඇතිවිය හැකිය. පෙර නොතිබූ අසාමාන්‍ය පපුවේ හිරවීමක් හෝ හුස්මගැනීමේ අපහසුවක් ද ඇතිවිය හැකිය.

    මෙවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි නම් ඔබ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකට දැනුම් දීමට කිසි විටෙක පසුබට නොවන්න. මෙවැනි අවස්ථා සදහා අවශ්‍ය සහාය ලබාගැනීමට 1999 සහ 0117 966 366 සුවසැරිය දුරකතන අංක සහ 1990 සුවසැරිය ගිලන්රථ සේවාව ඔබ වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මකව පවතී.


    ක්‍රියාශීලී බව සහ සෞඛ්‍යමත් ජීවන රටාව තුළින් දියවැඩියාව පරදමු.. කොවිඩ් වසංගතය හමුවේ දියවැඩියාවට හිස ඔසවමින් ව්‍යාකූල තත්ත්වයන් ඇති කිරීමට ඉඩ නොදෙමු.. කොවිඩ් සහ දියවැඩියාව යන දෙකම පරදවා නිරෝගීභාවය ළගාකරගමු..


    සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya