මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2020 ජාතික මවුකිරි දීමේ සතිය අගෝස්තු 01 සිට 07 දක්වා

    ජූලි 30, 2020

    මෙවර 2020 ජාතික මවුකිරි දීමේ සතිය අගෝස්තු 01 සිට 07 දක්වා.. මවුකිරි දීම ප්‍රවර්ධනය කර නිරෝගී දැයක් බිහි කරමු.


    සෑම වර්ෂයකම මෙන්ම මෙවරද ජාතික මවුකිරි දීමේ සතිය අගෝස්තු මස පළමු සතියේ එනම් අගෝස්තු 01 සිට 07 දක්වා නම්කර ඇත. ජාතික මවුකිරි දීමේ සතිය වෙනුවෙන් අද දින (30) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවේදී ළදරුවන්ට මවුකිරි දීමේ වැදගත්කම පිළිබදව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් රැසකගෙන් සමන්විත කමිටුව විසින් කරුණු රැසක් පහදා දෙනලදී.


    ලොව සුප්‍රකට ලේඛක මැක්සිම් ගෝර්කි ට අනූව ලොව සෑදී ඇත්තේ හිරුගේ රැසින් සහ මවගේ කිරෙන් යන කියමන පාදක කරගනිමින් දේශනය ඇරඹූ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේ ශ්‍රී
    ලංකාවේ මවුකිරි දීම සම්බන්ධව ඉතාමත් ශක්තිමත් අඩිතාලමක් වැටී ඇති බවයි. මවුකිරි දීම අතින් ශ්‍රී ලංකාව ලොව පළමු ස්ථානයේ පසුවන බව සමීක්ෂණ වලින් හෙළි වී ඇති බවට විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුම තම දේශනය අතරතුර පැවසුවේ සොම්නසිනි.

    මෙම පුවත්පත් සාකච්ඡාව සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, පවුල් සෞඛ්‍ය සේවා කාර්යාලයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලීද සිල්වා මහත්මිය, විශේෂඥ වෛද්‍ය හිරන්‍යා ජයවික්‍රම මහත්මිය, ළමා රෝග විශේෂඥ වෛද්‍ය දර්ශිකා රණසිංහ මහත්මිය, පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍යංශයේ අධ්‍යක්ෂිකා සුජීවා ප්‍රනාන්දු මහත්මිය අදහස් දක්වන ලදී.

    මව්කිරි දීමට දිරි දෙමු - මිහිකත රැකුමට උරදෙමු යන්න මෙවර මවුකිරි දීමේ සතියේ තේමාවයි. පාරිසරික දේශගුණික විපර්යාස සහ මවුකිරි දීමේ සබදතාවය පිළිබදව ජනතාව දැනුවත් කිරීම, විවිධ පුද්ගලයින් සහ සංවිධාන සමග එක්ව කටයුතු කිරීම මගින්, මවුකිරි දීම ප්‍රවර්ධනය කිරීම සදහා වන ප්‍රයත්නය බලාත්මක කිරීම, නැණවත් පරිසර හිතකාමී තීරණයක් ලෙස මවුකිරි දීම ශක්තිමත්ව ස්ථාපිත කිරීම, මවුකිරි දීම නගාසිටුවීම තුළින් මානව සහ ගෝලීය සෞඛ්‍ය රැකවරණය නගාසිටුවීම සදහා ඒකාබද්ධව ක්‍රියාත්මක වීම මෙවර අරමුණු වශයෙන් පෙන්වාදී ඇත. මවුකිරි දීම ළමා රෝගාබාධ සහ මරණ අවම කිරීම සදහා විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ සහ කාලය විසින් ඉතාමත් සුදුසු බවට තහවුරු කළ මැදිහත්වීමකි. මවුකිරි ළදරුවන්ගේ සහ කුඩා දරුවන්ගේ පෝෂණය, සෞඛ්‍ය හා බුද්ධි වර්ධනය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරන අතර දරුවන් සහ මවුවරුන් බෝ නොවන රෝග වලින් ආරක්ෂා කිරීමටද උපකාරී වෙයි. ප්‍රශස්ථ ලෙස මවුකිරි දීම නංවාලීම මගින් සෑම වසරකම ළමා මරණ 823000 ක් සහ මාතෘ මරණ 20000කට වැඩි ප්‍රමාණයක් වළක්වා ගැනීමේ හැකියාවක් පවතී.

    මෙලෙස සැලසෙන වාසි රාශියට අමතරව 2020 ලෝක මවුකිරි දීමේ සතිය, ඉතිහාසයේ කවරදාටත් වඩා තීරණාත්මක වී ඇත. කෝවිඩ් 19 ලොව පුරා ව්‍යාප්තියත් සමග මෙම තත්ත්වය උද්ගත වී ඇත. දරු උපතක් සිදුකළ කෝවිඩ් ආසාදිත යැයි සැක සහිත මවකට හෝ කොරෝනා රෝගය ආසාදිත මවකටද ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරනුයේ දරු ප්‍රසූතියත් සමග බිළිදාට මවුකිරි ලබාදීම ගැටලුවක් නොවන බවයි.

    උපතේ සිට පළමු මාස 06 මවුකිරෙන් පමණක් දරුවන් පෝෂණය කිරීමට කළයුතු බවත්, ඉන්පසු අමතර ආහාර ලබාදීම ඇරඹීමත් සමග මවුකිරි දීමද ක්‍රමයෙන් වසර දෙකක් පමණ දක්වා සිදුකළ යුතු බවත්, සෞඛ්‍ය අංශයන්හි පිළිගැනීමයි.

    ජාතික මවුකිරි දීමේ සතිය තුළ දුහිතෘ ප්‍රේමය වෙනුවෙන් ගත රුහිරු කිරට හරවා සිය දරුවන් පෝෂණය කරන ලක්වාසී මවුවරුන්ගේ අපරිමිත කැපකිරීමට උපහාරයක්ම වේවා.. මවුකිරෙන් සුපෝෂිත ශක්තිමත් ගුණවත් පරපුරක් මතු මතුත් රටට දායාද වේවා...

    සටහන - පූර්ණා නානායක්කාර.

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya