මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපිට සැඟවුණු න්‍යායපත‍්‍ර නැහැ

    ඔක්තෝබර් 04, 2014

    අපිට සැඟවුණු න්‍යායපත‍්‍ර නැහැ. අපේ අනාගතය හැඩගස්වන්නට ඉන්න දරු දැරියන් අපේ ශිෂ්ඨ සම්පන්න, හික්මුණු, මනා විනයක් තිබෙන ත‍්‍රිවිධ හමුදාව ඇසුරට යොමු කරන්නට ප‍්‍රධානතම හේතුවත් ඒකයි.

     

    අපේ ත‍්‍රිවිධ හමුදාව ලබා තිබෙන අත්දැකීම් සහ ඒ අයගේ චිත්ත ශක්තිය, පිළිවෙළ, පිරිසිදුකම මේ ආදී සියල්ල පිළිබඳ අවබෝධයක් සහ ඒ ආශ‍්‍රීත අත්දැකීම් ස්වල්පයක් හෝ ලබා ගන්නට මේ දරුවන්ට අවස්ථාව ලැබීම ම ඇති. අපට අවශ්‍ය අපේ දරුවන් ලෝකයට අලුත් දෙයක් දෙන්න පුළුවන් අලුතින් හිත්න්නට පුළුවන් පිරිසක් බවට පත් කරලා ලොව බලවත් සංවර්ධිත රටක් බවට ශ‍්‍රී ලංකාව පත් කරන්නට. මොකද අපේ රටේ සමස්ත සමාජය විසින් මේ වසරේ ලබා දී තිබෙන ඉහළම තත්ත්වයේ මානසික නිෂ්පාදනයයි මේ අප ඉදිරියේ ඉන්නේ. රටට පමණක් නොවෙයි ලෝකයට ම යමක් දෙන්නට අලුතින් දෙයක් හදන්නට අලුත් බෙහෙතක් හොයා ගන්නට අලුත් යන්ත‍්‍රයක් හදන්නට පුළුවන් පිරිස ඔබ.මේ දරුවන්ගේ දක්ෂතා දුටුවට ම අපිට අපේ රටේ අනාගතය ගැන සතුටු සිතින් බලාපොරොත්තු ඇතිකරගන්නට පුළුවන්.

     

    මේ වසරේ විශ්වවිද්‍යාල සඳහා සිසු සිසුවියන් 25000ක් අපි ඇතුළත් කරගන්නවා. එය ලබන වසරේ 35000ක් කරන්නට අපිට පුළුවන්. ඒකට හේතුව තමයි අපි මේ වනවිට අලුතින් ඉංජිනේරු පීඨ 03ක්, පශ්චාද් ඉංජිනේරු පීඨයක්, පශ්චාද් වෛද්‍ය පීඨයක්, තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ඉදි කිරීම. අපේ බුද්ධිමත් දරුවන්ට නිසි පරිදි උසස් අධ්‍යාපනයක් ලබාදීමට අපි කැපවී සිටිනවා. රටක උසස් අධ්‍යාපනය පුළුල් වෙනවා කියන්නේ සංවර්ධනය වේගවත් වනවා කියන එක යි.

     

    අපි උසස් අධ්‍යාපන අමාත්‍යංශය විදියට නිසි ඉලක්කගත වැඩපිළිවෙළක ඉන්නවා. අපි ලංකා සිතියම දැන් අඳින්නේ සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා අට ගුණයක් විශාල කරලා. ඒකට හේතුව තමයි අපේ රටට භූමිය වගේ අට ගුණයක් මුහුද තිබීම. ඒ සාගර සම්පත නිසි ලෙස ප‍්‍රයෝජනයට ගත යුතු යි. ඒ සම්පත්වලින් ප‍්‍රයෝජන ගතහැකි විධික‍්‍රම සොයා ගත යුත්තේ ඔබයි දරුවනි. අද ගවයකුගෙන්, එළුවකුගෙන් ලබාගන්නා කිරි බෝතල් හත අට ප‍්‍රමාණයට වඩා වැඩියෙන් බැරල් ගණනාවක් මුහුදේ ඉන්න තල්මසකුගෙන් ගන්න පුළුවන්. ඒ සතුන් හීලෑකරගෙන බුද්ධිමත්ව මෙහෙයවන්නේ කොහොකමද කියලා පර්යේෂණ කළ යුත්තේ ඔබ යි. මම අද මෙහෙම කියන කොට සමහරු හිනාවෙනවා.

     

    නමුත් අප හිතන්න ඕනේ අදට වඩා අවුරුදු ගණනාවක් ඉදිරියෙන්. එදා ආතර් සී. ක්ලාක් චන්ද්‍රිකාව ගැන කියද්දී, ජංගම දුරකථනය ගැන අදහස් දක්වද්දී මිනිස්සු හිනාවුණා. මම ක‍්‍රිකට් ලෝක කුසලානය දිනනවා කිවුවා ම ත් ඔලිම්පික් රන් පදක්කම් දිනන්න පුළුවන් කීවාම ත් සමහරු හිනාවුණා. නමුත් අපි ඒ දේවල් කළා. ඒ නිසා දරුවනි ඔබට මේ දේවල් එච්චර අමාරු දේවල් නොවෙයි.

     

    මතක තියාගන්න අද ඔබ ජීවත් වන්නේ තුන්වැනි ලෝකයේ දුප්පත් රටක නොවෙයි. ඔබ අද ජීවත්වන්නේ ලොව වේගයෙන් ම දියුණුවෙන රටවල් අතර දෙවැනි තැනට පසුගිය වසරේ පත්වුණු රටක. ඔබේ රටේ නායකයා ත් ලෝකය ම කරන්නට බැරි යැ යි කියූ දේවල් කරලා පෙන්නපු උදාර නායකයෙක්. තමන් රට භාර ගන්නවිට නරකාදියක්ව තිබුණු රට නොසිතපු දියුණුවකට ගෙනගියා. අවුරුදු තිහක් තිස්සේ ඔඩුදුවපු යුද්ධයක් ඉවර කළා. 2005දී ලොවේ අංක එකේ ත‍්‍රස්තවාදී සංවිධානය කියලා ලෝක ශ්‍රේණිගත කිරීම්වල හිටිය එල්.ටී.ටී.ඊ.ය පරාජය කරන්නට කිසි දිනක බැහැ යැ යි ලෝකයා පුරසාරම් දොඩද්දී, එවැන්නක් හීනයක් යැ යි කියද්දී තමයි එතුමා ත‍්‍රස්තවාදය රටින් අතුගා දැම්මේ. ලෝකයේ මූල්‍ය සංවිධාන, බැංකු ලංකාවට ණය දෙන්නට බැහැ යි කියපු තත්ත්වයක් තිබිය දී රටේ ණය අනුපාතය ආදායමට සාපේක්ෂව සියයට 106ක් දක්වා ඉහළ ගිහින් තිබෙද්දී රට අරගෙන අද වනවිට එය සියයට 78 දක්වා අඩු කරලා තිබෙනවා. ලෝක බැංකුව, ආසියනු සංවර්ධන බැංකුව අද ලංකාව ගැන කියන්නේ ලංකාව වේගයෙන් තමන්ගේ ඉලක්ක පසුකරමින් ඉන්නවා කියල යි. ඔබේ මනසේ තැන්පත් විය යුත්තේ මේ පිළිබඳව යි.

     

    අද රටේ හැම දෙයක් වගේ ම විශ්වවිද්‍යාල පද්ධතිය ත් වේගයෙන් දියුණු වෙනවා. අපි මුලින් ම දරුවන්ගේ නේවාසිකාගාරයකට ගියා ම කාමරයට ඇතුල්වෙන කොට ම නහය වහගන්න වුණා. ඒ තරමට ගඳයි. ඒ දරුවන්ට පිරිසිදුකම, පිළිවෙළ, විනය, සාමූහිකත්වය, ධනාත්මක චින්තනය වැනි උසස් ගුණාංග පුරුදු කරලා තිබ්බේ නැහැ. උසස් පෙළ වගේ අතිශයින් තරගකාරී විභාගයකට සූදානම් වෙන්න දෙමව්පියෝ පුරදු කරලා තිබ්බා හැරෙන්නට යථෝක්ත ගුණාංගයන් සහ පුරුදු පිළිබඳ දැනුමක් ලබා දී තිබ්බේ නැහැ. තමන්ගේ පිඟාන හෝදගන්නට, ඇඳුම් හෝදගන්නට පුරුද්දක් තිබ්බේ නැහැ. එවැනි ළමයෙක් විශ්වවිද්‍යාලයට ඇවිත් වල්මත් වෙනවා කියන එකේ, අපිරිසිදුවට සහ අපිළිවෙළට ඉන්නවා කියන එක පුදුමයකුත් නොවෙයි. ඉතින් තමන්ට පසු අවුරුද්දේ විශ්වවිද්‍යාලයට එන සහෝදර සහෝදරියන්ට නවක වධය දෙමින් සතුටක් ලබන්නට පුරුදු වුණා. විශ්වවිද්‍යාල පද්ධතිය බුද්ධිමය සංවාදයන්ට තිබුණු ඉඩෙන් ටිකෙන් ටික අයින් වුණා. මේ තත්ත්වය අපි නිසි පරිදි අවබෝධ කරගත් නිස යි මෙවැනි පාඨමාලාවක් ආරම්භ කළේ. එහෙම නැතිව අපිට සැඟවුණු න්‍යායපත‍්‍ර නැහැ.

     

    මේ දරුවන්ට අපි අලුත් නේවාසිකාගාර 60ක් ඉදි කරනවා. ඉන් 30ක වැඩ දැන් අවසන්. ඒ සෑම නේවාසිකාගාරයක් ම තරු තුනේ තරු හතරේ හෝටල් කාමරයක තිබෙන පහසුකම් තිබෙනවා. අධ්‍යාපනයට සුදුසු වටපිටාවක් එයින් ඔවුන්ට ලැබෙනවා. තමන්ගේ කාමරය පිළිවෙළට තබා ගන්නට, මානසික සුවතාව, ශාරීරික සුවතාව තුළින් ලබා දෙන්නට ඔබට මේ පාඨමාලාවෙන් අවස්ථාව උදාකරලා තිබෙනවා.

     

    මම උසස් අධ්‍යාපන අමාත්‍ය තනතුරට පත්වීමත් සමග ම පැවසුවා විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකුගේ වැටුප වැඩි විය යුතු යි කියලා. අපි අද ඒක වැඩි කරලා තිබෙනවා. එදා රාජ්‍ය සේවයේ විශ‍්‍රාම යන වයස 65 දක්වා දීර්ඝ කරලා තිබ්බේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයන් 11දෙනා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට. නමුත් අද වනවිට විශ්වවිද්‍යාල ආචාර්යවරයකුගේ විශ‍්‍රාම යන වයස අවුරුදු 70 දක්වා වැඩි කරන්නට අපි සමත් වෙලා තිබෙනවා. බුද්ධිමය සම්පතින් උපරිම ප‍්‍රයෝජනය රට වෙනුවෙන් ලබා ගන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නට අපි කැපවෙලා සිටිනවා. ඒක වගකීමක් සහ යුතුකමක් වශයෙන් අපි සලකනවා.

     

    අපේ දරුවන් දැන් ලෝකයත් එක්ක කරට කර තරග කරන්නට සමත්කම් දක්වලා තිබෙනවා. පසුගිය කාලයේ ඔලිම්පියාර්ඞ් තරගවලට සහභාගී වුණු අපේ දරුවන් ගණිත අංශයෙන් රන් පදක්කම් 06කුත් විද්‍යා අංශයෙන් රන් පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 06කුත් ලබා ගන්නට සමත් වුණා. ඔවුන් පරාජය කළේ ඇමෙරිකානුවන්, කැනේඩියානුවන්, ඉංග‍්‍රීසිකාරයන්, ප‍්‍රංශ, ජර්මන්කාරයන් බව අප අමතක නොකළ යුතු යි. රටේ සංවර්ධනය ත් සමග අපේ දරුවන් ලෝකය දිනන්නට සුදුසු මානසික වටපිටාවක් සකසා ගෙන සිටිනවා.

     

    අනෙත් කාරණාව තමයි ලෝකයේ කිසිදු ජාතියකට නොමැති ජානමය ශක්තියක් අපේ රටේ ජනතාවට තිබෙනවා කියන දෙය. කවුරුත් මුලින් මුලින් පිළිගත්තේ අපි විජය රජුගෙන් පැවත එන කොටසක් පමණක් කියල යි. නමුත් ෆාහියන්ගලින් සොයාගත් මිනිස් ඇටසැකිල්ලත් සමග ඒ කරුණු බොරු වුණා. ලෝකයේ පැරණි ම මිනිස් ඇටසැකිල්ල ලංකාවෙන් සොයා ගැනෙනවා. යාපනයෙන් අවුරුදු ලක්ෂ 08කට කලින් මිනිස්සු භාවිත කරපු ගල් ආයුධ සොයා ගැනෙනවා. එහෙම බලනකොට විජය කියන චරිතය ලංකාවේ මිනිසාගේ ආරම්භය පිළිබඳ කථා කරද්දී වැදගත් තැනක් ගන්නේ නැහැ. අපිට තිබෙන ජානමය ශක්තිය අපි නිසි පරිදි වටහා ගත යුතු යි. අලුතින් බලශක්ති හදන්නට, යන්ත්‍රෝපකරණ හදන්නට, කිසි ම ජාතියක් නොහිතන අලුත් ඇසකින් ලොව බලන්නට අපිට පුළුවන් බව අමතක කරන්නට එපා. ඒ නිසා දරුවනේ මෙයින් උපරිම ප‍්‍රයෝජන ලබා ගන්න. නිරෝගීමත් ව, මානසික ශක්තිය වර්ධනය කර ගන්නට, නායකත්ව හැකියාව, ධනාත්මක චින්තනය වර්ධනය කර ගන්නට මෙය නිසි අවස්ථාවක් කර ගන්න.


    උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සැප්තැම්බර් 21වන දින දියතලාව ප‍්‍රගුණ සහ සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ සහ දියතලාව ගුවන් හමුදා පුහුණු පාසලේ පැවති ‘නායකත්ව හැකියාව සහ ධනාත්මක අකල්ප වර්ධනය කිරීමේ පුහුණු පාඨමාලාවේ’ සිසු සිසුවියන් අමතා සිදුකළ දේශනය.

     

    (HC)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya