මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ (5) (අ ) අනුව්‍යවස්ථාව යටතේ වන මාධ්‍ය උපමාන

    ජනවාරි 19, 2018

    ජනමත විචාරණයක දී හෝ ඡන්ද විමසීමකට අදාළ කාලසීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු උපමාන හෙවත් මාර්ගෝපදේශ / මෙහෙයුම් ප්‍රතිපත්ති(Guidelines)

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනමවන සංශෝධනයේ 23(5) (අ) අනු ව්‍යවස්ථාව ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාව/ මැතිවරණ කොමසාරිස්වරයා විසින් ජනමත විචාරණයක් හෝ ඡන්ද විමසීමක් නිදහස්ව හා සාධාරණව පැවැත්වීම සහතික කිරීම සඳහා පනවනු ලබන විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය ආයතන හා ක්‍රියාකාරීන් විසින් පිළිපැදිය යුතු උපමාන පහත දැක්වේ.

    01. ප්‍රචාරණය සඳහා  ඉඩ වෙන්කර දීමේ දී හෝ ප්‍රවෘත්ති පත්‍රවල ඉඩ වෙන් කර දීමේ දී හෝ  ගුවන් කාලය ලබාදීමේදී තරඟ කරනු ලබන දේශපාලන පක්ෂයකට/ස්වාධීන කණ්ඩායමකට හෝ අපේක්ෂකයෙකුට විශේෂ වාසියක් හෝ අගතියක් සිදුනොවන අයුරින් සියලුම මුද්‍රිත හා රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍ය ආයතන සමානාත්මතාවයෙන් හා අපක්ෂපාතීත්වයෙන් කටයුතු කළ යුතුය.

    02. ප්‍රවෘත්ති ප්‍රචාරය හා දේශපාලන කටයුතුවලට සම්බන්ධ වෙනත් වැඩසටහන් විකාශය කිරීමේදී සියලුම මාධ්‍ය ආයතන නිවැරදි, සමතුළිත හා අපක්ෂපාතී තොරතුරු පමණක් ප්‍රචාරය කිරීමට වග බලා ගත යුතුය. මෙම සමතුලිතභාවය හා අපක්ෂපාතීභාවය මැතිවරණ පැමිණිලි පිළිබඳ නිත්‍ය නියෝජිත කමිටුව හා මාධ්‍ය උපමාන නියෝජිත කමිටුවේ නිරීක්ෂණයට නිරතුරුව භාජනය වේ.

    03. ප්‍රවෘත්ති පත්‍රවල කර්තෘ අදහස් ව්‍යාකූල මෙන්ම සමබර නොවීමට ඉඩඇති බැවින්, එවැනි කර්තෘ අදහස් විද්‍යුත් මාධ්‍ය මගින් විකාශය නොකළ යුතුය. කිසියම් හේතුවක් නිසා එවැනි අදහස් ප්‍රකාශ කිරීමක් කළහොත්, ඊට විරුද්ධව කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව අගතියට පත් පාර්ශවය විසින් ඉල්ලා සිටිය හොත් ඒ සඳහා අවස්ථාව ලබාදිය යුතුය.

    04. රූපවාහිනී නාලිකා මඟින් හා  ගුවන් විදුලි නාලිකා මඟින් පුවත්පත් සිරස්තල පිළිබඳව හා කාටූන් පිළිබඳව කෙරෙන විග්‍රහයන්හි දී මෙන්ම එවැනි කරුණුවලට අදාළ  සාකච්ඡාවන්හි දී වැඩසටහන් ඉදිරිපත් කරන/මෙහෙයවන තැනැත්තාගේ පෞද්ගලික මතිමතාන්තර දැක්වීමට යාමෙන් එක් පාර්ශ්වයක් ප්‍රවර්ධනය කෙරෙන අතර, තවත් පාර්ශ්වයක් අගතියට පත් කෙරෙන බැවින් එවැනි පෞද්ගලික මත ප්‍රචාරය කිරීමෙන් වැලකී සිටීම යෝග්‍ය වේ.

    05. ඡන්ද විමසීම් කාල සීමාව තුළ දී විධිමත් හා නීත්‍යානුකූල නොවන දැන්වීම් පළ නොකිරීම හා පක්ෂපාතී වැඩසටහන් ප්‍රචාරය/ විකාශය නොකිරීම හෝ අතිරේක පළ නොකිරීම සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අංශයේ හා කාලීන තොරතුරු විකාශය භාර අංශවල වගකීම වේ.

    06. යම් සිද්ධියක් හෝ කාර්යයක් පිළිබඳව කරුණු ප්‍රචාරය/ විකාශය කිරීමේදී යම් අපේක්ෂකයකු විසින් අදහස් ඉදිරිපත් කරන විට එම කරුණ ගැන උනන්දුවක් හෝ සැළකිල්ලක් දක්වන හෝ එම කරුණු මගින් බලපෑමක් ඇතිවිය හැකි තරඟ කරන අනෙකුත් පක්ෂවලටද කරුණු ඉදිරිපත් කිරීමට ඒ අවස්ථාවේදීම හෝ වෙනත් අවස්ථාවක දී ඉඩ ප්‍රස්ථා සලසා දිය යුතු ය.

    07. ඡන්ද විමසීම් කාල සීමාව තුළ ප්‍රචාරය/ විකාශය කරනු ලබන මැතිවරණයට සෘජුවම සම්බන්ධ වන සියලුම වාර්තාමය වැඩසටහන් හෝ විශේෂ වැඩසටහන් ප්‍රචාරය/ විකාශය කිරීමේදී පිටපත්කරු, නිවේදක හා සංස්කාරකවරුන්ගේ නම් සඳහන් කළ යුතු ය.එසේ වූවද ජනමාධ්‍ය ආචාරධර්ම අනුව පිටපත්කරු,නිවේදක හා සංස්කාරවරුන්ගේ නම් ප්‍රසිද්ධ නොකිරීමේ අයිතිය තබා ගැනීමට යම් ආයතනයක් අපේක්ෂා කරන්නේ නම්, එම අවස්ථාවේ දී විකාශනය භාරව සිටින නිලධාරියා එම වැඩසටහනේ වගකීම භාර ගත යුතු වේ.

    08. ඡන්ද විමසීමක දී තරඟ කරනු ලබන අපේක්ෂකයන්ට විරුද්ධව කරනු ලබන සාධාරණ තහවුරු කිරීමක් කළ නොහැකි චෝදනා ප්‍රවෘත්ති ප්‍රකාශනවලදී හෝ වැඩසටහන්වල දී ප්‍රචාරය/ විකාශය කිරිමෙන් වැළකී සිටිය යුතුය. වෙනත් අපේකෂකයකු හෝ ආධාරකරුවකු විසින් යම් කිසි මාධ්‍ය හරහා තමන් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් අසත්‍ය බවට යම් කිසි තරඟ කරන අපේක්ෂකයකු හෝ පක්ෂයක් කරුණු ඉදිරිපත් කළ හොත් අදාළ ප්‍රකාශයට ලබා දුන් ප්‍රසිද්ධියට සමාන අවස්ථාවක් එකි ප්‍රතිවිරුද්ධ කරුණු දැක්විම සඳහා ලබා දිය යුතුය.

    09. රාජකාරීමය උත්සව සහ අපරාධ සම්බන්ධ සිදුවීම් ඡන්ද විමසීමට අදාළ නොවන ප්‍රවෘත්ති විසුරුවා හැරීමේදී වුවද එමගින් කිසියම් පක්ෂකයකට හෝ අපේක්ෂකයකුට ප්‍රවර්ධනයක් හෝ අගතියක් වන බව පෙනී ගියහොත් අදාළ අනෙකුත් පාර්ශවයන්ගෙන් ද කරුණු විමසා ප්‍රචාරය කිරීමට සියලුම මාධ්‍ය ආයතන සුපරික්ෂාකාරී විය යුතුය.

    10. ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා හෝ රජයේ අමාත්‍යවරු සම්බන්ධවන දේශපාලන මත/ අදහස් ප්‍රකාශ කිරීමේ රූපවාහිනි/ ගුවන් විදුලි වැඩසටහන් මෙහෙයවීමේ දී එය ඔහු හෝ ඇය අයත්වන දේශපාලන පක්ෂයේ වැඩසටහනක් ලෙස සැලකිය යුතු  ය. එහෙයින් එයට විරුද්ධ අදහස් දරන දේශපාලන පක්ෂවල නායකයන්ටද, ඒ හා සමාන වැඩසටහන් ලබා දිය යුතුය. මුද්‍රිත මාධ්‍යද ඒ අයුරින් දේශපාලන පක්ෂවලට/ අපේක්ෂකයින්ට විශේෂ සාකච්ඡා ලබාදීමේදී පක්ෂ රැස්වීම් වාර්තා පළ කිරීමේ දී සමාන ඉඩක් හා ප්‍රමුඛතාවක් ලබාදිය යුතුය.

    11. යම් අපේක්ෂකයකුට හෝ අපේක්ෂකයන් කිහිප දෙනකුට විශේෂ සැලකිල්ලක් දක්වා ඔහු ප්‍රවර්ධනය වන අයුරින් හෝ වෙනත් අපේක්ෂකයින් හට අගතියක් වන අයුරින් හෝ ගුවන් කාලය හෝ ප්‍රවෘත්ති පත්‍ර ඉඩකඩ වෙන්කිරීම නොකළ යුතුය.

    12. රාජ්‍ය නිලධාරීන් විසින් පවත්වනු ලබන දේශන සම්මුඛ සාකච්ඡා ආදිය ඡන්ද විමසීමට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයකු ප්‍රවර්ධනය කෙරෙන හෝ වෙනත් අපේක්ෂකයන් අගතියට පත්වන අයුරින් ප්‍රචාරය/ විකාශය කිරීමෙන් සියලුම මාධ්‍යයන් වැළකී සිටිය යුතුය.

    13. දේශපාලනමය කරුණු පිළිබඳව කෙරෙන හෝ ඡන්ද විමසීම් හා බැඳි කණ්ඩායම් සාකච්ඡා සඳහා සහභාගීවන්නන් තෝරාගැනීමේ දී සියලුම විද්‍යුත් මාධ්‍ය ආයතන සැබෑ ලෙස තරග කරන සියලුම පාර්ශව වලට සාධාරණ ලෙස කටයුතු කළ යුතු අතර අන් අයට අගතියක් නොවනසේ සාකච්ඡාව මෙහෙයවිය යුතුය. යම් වැඩසටහනකට සහභාගීවන කිසියම් නියෝජිතයකුට අදාළ භාෂාවේ මනා ප්‍රවීණත්වයක් නොමැතිවීම හේතුවෙන් ඔහුට/ ඇයට අගතියක්වන ආකාරයට වැඩසටහන මෙහෙයවීමෙන් වැළකිය යුතුය. මුද්‍රිත මාධ්‍ය විසින් සම්මුඛ සාකච්ඡා ලබාගෙන ප්‍රසිද්ධ කිරීමේදීද භාෂා ප්‍රවීණතාව නොමැතිවීම නිසා එම සාකච්ඡාවට සහභාගීවන තැනැත්තා අපහසුතාව ට පත්වන අයුරින් ක්‍රියා නොකළ යුතුය. අපහැදිලි හෝ තේරුම් ගැනීමට අපහසු ප්‍රශ්න හරහා ලබාගන්නා තොරතුරු ප්‍රසිද්ධ නොකළ යුතුය.සනාථ කළ නොහැකි හෝ ජන කොට්ඨාස අතර වෛරී සහගත හැඟීම් ඇති වන ආකාරයේ හෝ සදාචාර විරෝධී හෝ කරුණු ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙසට සහභාගී වන්නන්ට සාකච්ඡා ආරම්භයේ දීම ප්‍රසිද්ධියේ දැනුම් දිය යුතු අතර, සාකච්ඡාව අතරතුර දී එවැනි අයෝග්‍ය ක්‍රියාවන් සිදුවුව හොත් වැඩසටහන අත්හිටු විය යුතුය.

    14. දුරකථන මාර්ගයෙන් ප්‍රශ්න හා තොරතුරු ලබා ගනිමින් පවත්වනු ලබන වැඩසටහන්වල දී සියලුම අමතන්නන්ට ඔවුන්ගේ ප්‍රශ්න හා යෝජනාවල අඩංගු කරුණු කුමක් වුවද එම අයට සමාන අවස්ථා ලබාදිය යුතුය. එමෙන්ම එවැනි වැඩසටහන්වල සමබරතාව පිළිබඳව වැඩසටහන මෙහෙයවන හා ඊට සම්බන්ධවන සියලුම නිලධාරීන් වගකිව යුතුය.

    15. කිසියම් විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ආයතනයක සභාපතිවරයකු, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු හෝ වගකිව යුතු මාධ්‍යවේදියකු දේශපාලන කටයුතුවල ක්‍රියාකාරීව නිරතව සිටී නම්  එයින් සමබර ප්‍රවෘත්ති/ ප්‍රචාරණ කටයුතු විකාශනයට බාධාවන අතර ගැටළුකාරී තත්ත්වයන් මතුවිය හැක. එබැවින් එවන් අවස්ථාවල දී පහත සඳහන් කරුණු ආයතනයේ කළමනාකාරීත්වයෙහි දැනගැනීම සඳහා ලිඛිතව වැඩසටහනට පෙර අදාළ නිලධාරීන්/ සේවකයන් විසින් දැනුම් දිය යුතුය.

    (අ). එවැනි පුද්ගලයන්ගේ මැදිහත්වීමේ ස්වභාවය
    (ආ). පුද්ගලයාගේ රැකියාවේ ස්වභාවය හා මට්ටම
    (ඇ). වැඩසටහන් සකස් කිරීමේදී එවැනි පුද්ගලයන්ගේ බලපෑම හා මැදිහත්වීමේ ප්‍රමාණය

    16. සභාපති, ලේකම්, ජාතික සංවිධායක, භාණ්ඩාගාරික, නියෝජ්‍ය නායක, උපනායක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති හෝ ඒ හා සමාන බලතල ඇති) දරන තැනැත්තෙකු මාධ්‍ය ආයතනයක අධ්‍යක්ෂ මණ්ඩල සභාපති, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික, ප්‍රධාන විධායක/ ප්‍රධාන කර්තෘ වැනි ප්‍රමුඛ තනතුරක් දරන විටදී එකී තැනැත්තා එකී ඡන්ද විමසීමේදී අපේක්ෂකයකු වන්නේ නම්, හෝ ඔහු/ ඇය ප්‍රමුඛ නිලයක් දරන පක්ෂයක ඡන්ද විමසීමේදී සෘජුවම හෝ පිළිගත් සන්ධානයකින් තරඟයට එලඹ ඇත්නම් එකී කාල සීමාව තුළදී ඔහු/ ඇය මාධ්‍ය ආයතනයේ තනතුරෙහි ක්‍රියාකාරීව කටයුතු කිරීමෙන් වැළකි සිටිය යුතු ය. තවද යම් ඡන්ද විමසීමක දී තරඟ කරන පක්ෂයකට ප්‍රධාන නිලයක් දරන තැනැත්තෙකු හෝ ඡන්ද විමසීමේ දී අපේක්ෂකයකු ලෙස තරඟ කරන තැනැත්තෙකු එකී ඡන්ද විමසීම් කාල සීමාව තුළ රූපවාහිනී හෝ ගුවන් විදුලි මාධ්‍යවල දේශපාලනමය වැඩසටහන් මෙහෙයවීමෙන් වැළකී සිටිය යුතු අතර මුද්‍රිත මාධ්‍යයක නිත්‍ය සේවයේ  නිරතව සිටින්නේ නම් එකී මාධ්‍ය හරහා ස්වකීය දේශපාලනමය ලිපි/ ලේඛන ප්‍රසිද්ධ කිරීමෙන් වැළකී සිටිය යුතු ය.

    17. කිසියම් මාධ්‍ය ආයතනයක් විසින් ඉදිරිපත් කරන සාකච්ඡාවකට හෝ සම්මුඛ සාකච්ඡාවකට සහභාගීවීම කිසියම් පක්ෂයක්/ පුද්ගලයකු විසින් ප්‍රතික්ෂේප කරනු ලබන අවස්ථාවක සහ එසේ ප්‍රතික්ෂේප කරනු ලැබීමට හේතු ඉදිරිපත් නොකරන අවස්ථාවක  මාධ්‍ය ආයතන විසින් එවැනි පක්ෂයක්/ පුද්ගලයෙකු අපහසුතාවට පත්වන අයුරින් ක්‍රියා නොකළ යුතු ය. එවැනි අවස්ථාවල දී හිස් පුටුව ප්‍රදර්ශනය කිරීම වැනි නාට්‍ය ස්වරූපගත උපායන් යෙදීම වෙනුවට සෘජු හා සරල නිවේදනයක් මගින් සහභාගී නොවීම ප්‍රකාශ කිරීම යෙහෙකි.

    18. මත විමසුමක ප්‍රතිඵල විද්‍යුත් මාධ්‍යයෙන් විකාශය කිරීමෙන් හෝ මුද්‍රිත මාධ්‍යයෙන් පළ කිරීමෙන් එම මත විමසුම පවත්වන ලද සංවිධානය හඳුන්වාදීම, එම කාර්ය පවරන ලද හා ඒ සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදුන් ආයතන හෝ තැනැත්තා, ඒ සඳහා භාවිතා කළ ක්‍රමය, නියැදියේ ප්‍රමාණය, දෝෂ සීමාව සහ ක්ෂේත්‍රයේ කටයුතු කළ දින වකවානු සඳහන් කළයුතු ය. මත විමසුම පවත්වන ලද අවස්ථාවේ පැවැති මහජන මතය පමණක් එයින් පිළිබිඹුවන බව විකාශක හෝ ප්‍රකාශක විසින් සඳහන් කළ යුතු ය. 

    19.තරඟයට එළැඹ සිටින අපේක්ෂකයකු විසින් වෙනත් පක්ෂයක හෝ කණ්ඩායමක හෝ ප්‍රතිවිරුද්ධ පක්ෂයක/කණ්ඩායමක අපේක්ෂකයකුගේ ජයග්‍රහණය ප්‍රවර්ධනය කිරීම සඳහා කරන ලද ප්‍රකාශ විකාශය නොකළ යුතුය. ප්‍රසිද්ධ නොකළ යුතු ය. 

    20. මැතිවරණ කොමිෂන් සභාව/ මැතිවරණ කොමසාරිස් විසින් දෙන ලද ලිඛිත අවසරයක් නොමැතිව ඡන්ද මධ්‍යස්ථානය තුළ හෝ තැපැල් ඡන්ද මධ්‍යස්ථාන තුළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම් කර ඇති බැවින් එසේ කිරීමෙන් වැළකී සිටීමට සියලුම මාධ්‍ය වේදීන් ක්‍රියා කළ යුතු අතර අනවසරයෙන් ලබා ගන්නා එවැනි ඡායාරූප වීඩියෝ දර්ශන පුවත්පත්වල පළ කිරීමෙන් හෝ විද්‍යුත් මාධ්‍යවලින් විකාශය කිරීමෙන් වැළකිය යුතු ය. අවසර ලබා ගැනීමෙන් පසුව ලබා ගන්නා ලද දර්ශන පවා පළ කිරීම හෝ විකාශය කිරීම කළ යුත්තේ ඡන්ද විමසීම අවසන් වීමෙන් පසුවය.

    21. පෙර අවස්ථාවලදී විකාශය කළ හෝ පළ කරන ලද අදහස් සාකච්ඡා හා වාද විවාද සහ   එබඳු වැඩසටහන්ද ඡන්ද විමසීම සිදුකරන දිනයට පූර්වයෙන් වූ පැය 48ක කාලය තුළදී නැවත ප්‍රචාරය/ විකාශය කිරීම හෝ පළ කිරීම සිදු නොකළ යුතු ය. ඡන්ද විමසීම්වලට අදාළව පක්ෂ/ අපේක්ෂක ප්‍රචාරක කටයුතුවලදී දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් විසින් ප්‍රකාශයට පත්කරන ලද ප්‍රතිපත්ති සහ පොරොන්දු පිළිබඳව ඡන්ද දායකයාට මධ්‍යස්ථව සලකා බැලීමට හැකි පරිදි නිහඬ වාතාවරණයක් ඡන්ද විමසීම් දිනයට පෙර ඇති කිරීම වැදගත්වන බැවින් ඡන්ද විමසීමේ දිනට පෙර නිහඬ කාලය වශයෙන් (ප්‍රචාරන කටයුතුවලින් වැළකී සිටිය යුතු කාලය) ලෙස නීතියෙන් නියම කර ඇති (පැය 48ක) කාලසීමාව තුළදී, මැතිවරණයට අදාළ සාකච්ඡා, වාද විවාද ප්‍රචාරක දැන්වීම් ආදිය ප්‍රදර්ශනය කිරීමෙන් හා පළ කිරීමෙන් මාධ්‍ය ආයතන වැළකී සිටිය යුතු ය.

    22. ශ්‍රී ලාංකිකයින්ගේ ආගමික විශ්වාසයන් හා ඇදහිලි, ශ්‍රී ලාංකිකයන් විසින් භාවිතා කරන භාෂා, ඔවුන්ගේ වාර්ගිකත්ව, චාරිත්‍ර වාරිත්‍ර හා වෙනත් කුල ගෝත්‍ර ආදි වෙනස්කම් පිළිබඳව පුද්ගලයන් තුළ වෛරය හා නොඉවසන සුළු බව ඇති කිරීම හෝ උග්‍ර වන ආකාරයට ප්‍රචාරණ කටයුතු සිදු කිරීම හෝ නොකළ යුතුය.

    23. වෛරී සහගත දේශපාලනය, පාක්ෂිකයන් අතර හා සමාජය තුළ වර්ධනය වන ආකාරයේ ප්‍රචාරණ කටයුතුවලින් වැළකී සිටිය යුතුය.

    24. යම් අපේක්ෂකයෙකු හෝ ආධාරකරුවකු වෙනත් පක්ෂයක හෝ කණ්ඩායමක අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් අතීතයේ දී (පුර්වයෙන්) කරන ලද ප්‍රකාශයක් ප්‍රකාශය කර තැනැත්තාට අගතියක් වන සේ හෝ අනික් තැනැත්තා ප්‍රවර්ධනය කිරීමක් සිදු වන සේ ප්‍රකාශකරුගේ එකඟත්වය හෝ අනුමැතියකින් තොරව එවැනි පුර්වයෙන් කරන ලද ප්‍රකාශ නැවත පළ කිරීමෙන් හෝ විකාශය කිරීමෙන් වැළකී සිටිම යෝග්‍ය වන අතර තමා විසින් අන් අයකු හෝ පක්ෂයක් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ නැවත නැවත ප්‍රචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස අදාළ ප්‍රකාශය කර ඇති තැනැත්තා කරනු ලබන ඉල්ලීම් සඳහා අනුකූලතාව දැක්විය යුතුය.

    25. නිර්නාමික හා ප්‍රකාශකයාගේ නම සඳහන් නොකර ව්‍යාජ පුද්ගල හෝ සංවිධානවල නම් යොදා ගනිමින් කරනු ලබන දැන්වීම් හා ප්‍රචාරණ මාධ්‍ය ආයතන මඟින් නොකළ යුතු අතර ඒ සම්බන්ධයෙන් වන වගකීම අදාළ මාධ්‍ය ආයතන වෙත පැවරේ.

    26. ජාතික ධජය, ආගමික සංකේත, ආගමික ධජ, ආගමික ශාස්තෘවරුන්ගේ හෝ ආගමික නායකයින්ගේ සිතුවම් හෝ ඡායාරූප, පක්ෂ/ කණ්ඩායම් හෝ අපේක්ෂක ප්‍රවර්ධනයට හෝ අගතියකට හේතුවන පරිදි ප්‍රචාරණය හෝ විකාශය නොකළ යුතුය. එවැනි දෑ ඇතුළත් දැන්වීම් ප්‍රචාරණය හෝ විකාශය නොකළ යුතුය.

    27. අසත්‍ය ප්‍රකාශ/ ප්‍රවෘත්ති පළ කිරීම් පිළිබඳව පුර්ණ වගකීම ප්‍රකාශය කර තැනැත්තා මෙන්ම එම මාධ්‍ය ආයතනය විසින්ද භාරගත යුතු අතර ඒ සම්බන්ධයෙන් පැන නගින නීතිමය ප්‍රශ්න සඳහා අදාළ සියලුම දෙනා නීතියෙන් නියම කර ඇති පරිදි  වගකීමට බැඳේ.

    28. මාධ්‍ය සදාචාරයට සහ ආචාර ධර්මවලට අනුකූලව හා ඒවා උල්ලංඝණය නොවන අයුරින් ක්‍රියාකිරීම සියලුම විද්‍යුත්/ මුද්‍රිත මාධ්‍ය ආයතනවල වගකීම වේ.

    29.රාජ්‍ය මාධ්‍ය ආයතන විසින් පක්ෂ/ කණ්ඩායම්/ අපේක්ෂක ප්‍රවර්ධනය පිණිස රාජ්‍ය දේපළ හා අරමුදල් භාවිතය දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ නීති විරෝධි ක්‍රියාවක් වන අතර රජයට අයවිය යුතු මුදල් අය නොකිරීම හා වෙනත් ආකාරයකින් ආයතනයට අලාභ වන අන්දමින් ක්‍රියා කිරීම ද වරදක් වේ. ඒ සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නියම කර ඇති දඩුවම්වලට අමතරව වින්‍යානුකූලව කටයුතු කිරීමට ද විධිවිධාන සලසා ඇති හෙයින් එවැනි කටයුතුවලින් සියලුම රාජ්‍ය  හා අර්ධ රාජ්‍ය මාධ්‍ය ආයතන වැළකී සිටිය යුතුය

    30. ඉහත සඳහන් මාධ්‍ය උපමාන ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට සියළුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හිමිකරුවන් ක්‍රියා කරනු ඇතැයිද ඒ අයුරින් තම ආයතන ක්‍රියාත්මක වන බවට ඔවුන් විසින් වගබලා ගනු ඇතැයිද අපේක්ෂා කෙරේ.

    31. ඉහත සඳහන් කර ඇති උපමාන අදාළ වන පරිදි ඡන්ද විමසීම් කාලසීමාව තුළ දී ඒ අයුරින්ම අනුගමනය කිරීමට සමාජ වෙබ් අඩවි හිමිකරුවන් හා නිර්මාණකරුවන් විසින් ද කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    32.මෙම මාධ්‍ය උපමානවලට අනුකූලව ක්‍රියා කිරීම මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ හා සමාජ වෙබ් අඩවි පවත්වන්නන්ගේ/භාවිතා කරන්නන්ගේ යුතුකමක් පමණක් නොව වගකීමක් ලෙස සැලකීම අවශ්‍ය වේ. මක් නිසාද යත් නිදහස් හා සාධාරණ ඡන්ද විමසිමක් පැවැත්වීම සඳහා මෙම මාධ්‍ය උපමානවලට අනුකූලව ක්‍රියා කිරීම අත්‍යාවශ්‍ය හෙයිනි.

    33. ඉහත මාධ්‍ය උපමාන ක්‍රියාත්මක කිරීමේ දී පැන නගින ගැටලු සම්බන්ධයෙන් පිළිගත් දේශපාලන පක්ෂවල නිත්‍ය නියෝජිතයන් හා මැතිවරණ පැමිණිලි විමර්ශන සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණ නිලධාරීන් හා මැතිවරණ කොමසාරිස් විසින් පිළිගත් දේශීය මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයන්ගෙන් සමන්විත නිත්‍ය නියෝජිත කමිටුවේ දී සාකච්ඡා කර එමඟින් ලබා ගන්නා නිර්දේශ හා අදාළ වන විට , මානව හිමිකම් කොමිෂන් සභාවේ අදහස් / නිර්දේශ ද සලකා බලා මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්,ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් හා මාධ්‍ය ආයතන නිත්‍ය නියෝජිතයන්ගෙන් සමන්විත මාධ්‍ය උපමාන බලාත්මක කමිටුවේ තීරණ වලට  අනුව ක්‍රියා කළ යුතුය. එනම් මෙම මාධ්‍ය උපමාන ක්‍රියාත්මක කිරීමට අදාළ මඟ පෙන්වීම,මෙහෙයවීම හා අධීක්ෂණය කිරීම පෙර සඳහන් මාධ්‍ය උපමාන බලාත්මක කිරීමේ කමිටුවේ පොදු එකඟතාව මත සිදුකරනු ලැබිය යුතුය.

    34. කිසියම් දේශපාලන පක්ෂයක්/ අපේක්ෂකයකු විසින් ඉහත උපමානවලට පටහැනි වන අයුරින් කරනු ලබන නියෝගයක්, ඉල්ලීමක් ප්‍රචාරණයට හෝ පළ කිරිමට මාධ්‍ය ආයතනයක් හෝ මාධ්‍යකරුවකු බැඳී නොසිටී. එවැනි අවස්ථාවක දී මාධ්‍ය ආයතනයකට හෝ මාධ්‍යවේදීයාට නීතියේ පිහිට පැතීමට ඇති අයිතිය පිළිගත යුතුය.

    • මෙම මාධ්‍ය උපමාන නිකුත් කර ඇත්තේ නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා අවශ්‍ය යහපත් වාතාවරණය පවත්වා ගැනීම පිණිස හෙයින් මෙම උපමානවලට අනකූලව ක්‍රියා කිරීම සඳහා මාධ්‍ය ආයතනවලට අවශ්‍ය සහාය ලබාදීම සහ මෙම උපමානවලට අනුකූලව ක්‍රියා කරන මාධ්‍ය ආයතනවලට බාධා කිරීමෙන් වැළැකී සිටීම සියලුම දේශපාලන පක්ෂ/ ස්වාධීන කණ්ඩායම් හා දේශපාලන ක්‍රියාකාරීන්, නිරීක්ෂණ සංවිධාන සහ සිවිල් සංවිධාන වෙත මෙන්ම සියලුම පුරවැසියන් වෙත පැවරෙන වගකීමක් වේ. එහෙයින් මෙම උපමානවලට අනුගතව ක්‍රියාකිරීමට සියලුම මාධ්‍ය ආයතන වෙත අවශ්‍ය සහාය ලබාදීමට අදාළ සියලුම පාර්ශව කටයුතු කරනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නැතහොත් මැතිවරණ කොමසාරිස් අපේක්ෂා කර සිටී.

    සටහන

    පූර්ව ඡන්ද විමසීම් සඳහා නිකුත් කර තිබූ මාධ්‍ය උපමාන ඇසුරෙන් සැකසූ කෙටුම්පත මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ඉදිරිපත් කරන ලද බවත් ඉන් අනතුරුව එකී ආයතන ප්‍රධානීන් විසින් නම් කරන ලද නිත්‍ය නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමෙන් ලද පොදු එකඟතාවද සහිතව මෙහි මාධ්‍ය උපමාන ප්‍රසිද්ධියට පත් කරනු ලබන බව සැලකිය යුතුය.

     

     බලන්න
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya