අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම අප රටේ විදේශ ප්‍රතිපත්තියේ අත්‍යවශ්‍ය අංගයකි

    ජූනි 30, 2015

    රටේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම අප රටේ විදේශ ප්‍රතිපත්තියේ අත්‍යවශ්‍ය අංගයක් බවත් තම ජනතාව වෙත පැවරී ඇති වගකීම ඉටුකීරීමට අපොහොසත් වූ පසුගිය රජය ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට ලක් කල අතර එය රටේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය අනතුරේ හෙළමින් බාහිර රටවල ආක්‍රමණකාරී මැදිහත් වීමට ශ්‍රී ලංකාව භාජනය කළ බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විසින් ගෙන ආ කල් තැබීමේ යෝජනාව සඳහා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ලබාදුන් පිළිතුරෙහි දී මේ බව පැවසීය.

     

    එමෙන්ම අප විසින් සකස් කරන ලද දේශීය යාන්ත්‍රණය සඳහා ජාත්‍යන්තර විශේෂඥ දැනුම භාවිතා කිරීම ජාත්‍යන්තර පරීක්ෂණයක් ලෙස හදුන්වමින් ජී.එල්.පීරිස් මහතා නගන චෝදනාවට  මීලඟට පිළිතුරු දුන් මංගල සමරවීර මහතා පැවසුවේ ජාත්‍යන්තර විශේෂඥ දැනුම ලබා ගැනීම වනාහි රාජපක්ෂ රජය විසින් ද ඇල්මෙන් යුතුව අනුගමනය කළ පියවරක් බව ය.

     

    රාජපක්ෂ රජය රටේ මහජනතාවගේ බදු මුදල් වියදම් කරමින් ජාත්‍යන්තර විශේෂඥ සේවා ලබා ගත්තා මිස අප රටේ මිතුරු රාජ්‍යන් විසින් හොඳ හිත මත ලබා දීමට කැමති වු සේවා ලබා ගත්තේ නැති බවත් 2009 මැයි මාසයෙන් පසු එල්ටීටීඊ ය පරාජය කිරීම සඳහා අප රටට උදව් කළ හිතවත් රාජ්‍යයන් කෙමෙන් අපගෙන් ඈත් වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    තවදුරටත් සිය අදහස් ප්‍රකාශ කළ අමාත්‍ය මංගල සමරවීර මහතා,

     

    “වර්තමාන තත්වය පිළිබඳ මෙම මසදී නිකුත් කල ත්‍රස්තවාදය හා ගෝලීය ත්‍රස්තවාදයේ රටාවන් පිළිබඳ වාර්තා නම් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවේ සඳහන් වන්නේ තවමත් එල්ටීටීඊ සංවිධානයට සහයෝගය දක්වන පිරිස් සිටින බවත්, ඔවුන්ගේ ශක්ති ප්‍රමාණය හරිහැටි නොදන්නා බවත්, ඔවුන් අතුරින් 13 දෙනෙකු පසුගිය වසරේ දී අත්අඩංගුවට ගත් බවත්ය. තවද ඔවුන්ගේ මූල්‍ය ජාලය 2014 වසර පුරාවටම ක්‍රියාත්මක වූ බවත් එහි සදහන් වේ.

     

    පසුගිය රජයේ විදේශ අමාත්‍යවරයා වශයෙන් එම සමය තුල ජාත්‍යන්තර ප්‍රජාව විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැලකිලිමත් වූ කාරණා කවරේදැයි ඔහු හොඳින් දනී. උදාහරණ වශයෙන් අප රට නොසිතූ විරූ ලෙස ආඥාදායකත්වයක් කරා ගමන් කිරීම, උතුරේ දෙමළ ජනතාවගේ දුක් ගැනවිලි, නීතිය හා සාමය බිඳවැටීම, කනස්සල්ල හා විසම්මුතිය දැක්වීම යටපත් කිරීම, සිවිල් සමාජය සීමා කිරීම් වලට යටත්කිරීම, පුද්ගල සුභසාධනය පිළිබඳ කථාකල පුද්ගලයන් පවා ත්‍රස්තවාදීන් ලෙස හන්වඩු ගැසීම ආදිය ඒ අතර වේ.

     

    නමුත් අපගේ රජය ඉකුත් පෙබරවාරි මසදී කුමරන්  පද්මනාදන් නොහොත් කේ.පී. හට රටින් පිටවීම තහනම් කල අතර ඔහුගේ ක්‍රියාකාරකම් පිළිබඳ පරීක්ෂණය කිරීම ආරම්භ කරමින් එල්ටීටීඊ සංවිධානයේ මූල්‍ය ජාලය අකර්මණ්‍ය කිරීම සඳහා ද මැදිහත් වූවෙමු.

     

    අප රජය සැමවිටම ජාත්‍යන්තර පරීක්ෂණ සඳහා කිසිදු අවස්ථාවක ඉඩ නොදෙන බව අවධාරණය කර ඇත. එසේ වුවද අප විසින් ජාත්‍යන්තර තාක්ෂණ සහය ලබාගනිමින් විශ්වාසනීය දේශීය යාන්ත්‍රණයක් ගොඩනගන බව සැමවිටම තහවුරු කරන ලදි.

     

    ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගනිමින් නිසි පරීක්ෂණ පැවැත්වීමට පසුගිය රජය අපොහොසත් වීම නිසා 2014 වසරේ දී ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ යොජනාවක් සම්මත විය. ඒ අනුව මේ සියල්ලට සත්‍ය වශයෙන් වගකිව යුත්තේ පසුගිය රජයයි. 2015 වසරේ නව රජය බලයට පත්වෙමින් විශ්වාසනීය දේශීය යාන්ත්‍රණයක් සකස්කිරීම සඳහා තම කැපවීම නිසි කලට පෙන්වා දීම හේතුවෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම වළකාගත හැකිවිය.

     

    ඉතිහාසයේ ඉහළම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය වාර්තා කරමින් විශාල ජයග්‍රහණයක් වාර්තා කල 2015 ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයා විසින් ස්වාධීන ජාතික අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවීමේ අවශ්‍යතාවය අවධාරණය කරන ලදී. මෙය ඔහුගේ දින 100 වැඩපිළිවෙලේ 93 වන කාර්යය යටතේ පැහැදිලිව මෙලෙසින් සඳහන් වේ.

     

    ‘ශ්‍රී ලංකාව විසින් යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණ බලය පිළිබඳ රෝම ප්‍රඥප්තියට අත්සන් තබා නැති බැවින් එවන් කාරණා සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීම   ස්වාධීන ජාතික අධිකරණ යාන්ත්‍රණයක කාර්යභාරය වේ‘

     

    මැතිවරණ ජයග්‍රහණයත් සමඟ එය රජය විසින් පමණක් නොව මෙරට ජනතාව විසින් ද තහවුරු කර ඇත.“ යැයි ද කියා සිටියේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya