මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉඩම් නොමැති ජනතාවට ඉඩම් කැබලි 190,000ක් බෙදා දුන්නා

    නොවැම්බර් 18, 2014

    2006 සිට ආරම්භ කරන ලද ඉඩම් නොමැති ජනතාවට ඉඩම් කැබලි ලක්ෂයක් බෙදා දීමේ ඉලක්කය 2009 අගෝස්තු මාසය වන විට සාර්ථකව අවසන් කළ අතර එහි දෙවන අදියර ලෙස ඉඩම් කැබලි එක්ලක්ෂ අනූදහසක් බෙදා දුන් බව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

    ඊයේ (17) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා එසේ පැවසීය.

     

    කොහු ලණුවලින් ඉඩම් මැනලා ඔප්පු සාදා දුන් අතීතයක් තිබුණ බවත් එහිදී ජනතාවට අසාධාරණයක් සිදු වූ බවත් පැවසූ අමාත්‍යවරයා දැන් අපි ඒ නිවැරදි මිනුම් සමඟ නීත්‍යනුකූල නිරවුල් ඔප්පු ලබා දීමට කටයුතු කරමින් සිටින බවත් පැවසීය. අතීතයේ ඉඩම මැනීමකින් තොරව ඔප්පුවේ මිනුම් සටහන් කිරීමෙන් නව ඔප්පු ලබා දීමේ දී යම් යම් ගැටලු මතු වුවත් දැන් නව තාක්ෂණය යටතේ නිවැරදි මිනුම් මඟින් එම ගැටලු නිරාකරණය කරමින් ඔප්පු ලබා දෙන බව මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මැනුම්පති එම්.පී. උදයකාන්ත මහතා ද මෙහිදී ප්‍රකාශ කළේය.

     

    අවුරුදු 30කින් කිසිම අමාත්‍යවරයෙක් පොතුවිල් ප්‍රදේශයට පය ගසා නොතිබුණු බවත් තමා එහි ගොස් සියලුම දෑ පරීක්ෂා කළ බවත් එහිදී වයස අවුරුදු 12ක සිටිය දී කෙනෙකුට නිකුත් කර තිබූ ව්‍යාජ ඔප්පුවක්, නිල මුද්‍රණ හා ව්‍යාජ අත්සන් යෙදූ ඔප්පු ඇතුළු නීතිවිරෝධී කටයුතු ගණනාවක් හමු වූ බවත් පොතුවිල්වල ඉඩම් හිමිකම් සම්බන්ධ මතු ව ඇති ගැටලු පිළිබඳ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා විසින් පැහැදිලි කරන ලදී.

     

    යුද්ධෙට පෙර වගා ඉඩම්වල නීත්‍යනුකූල බලපත්‍ර ලබාගෙන වගා කරන ගොවීන් අතර යුද්ධය පැවති සමයේදී නීතිවිරෝධී ව්‍යාජ බලපත්‍ර සකසාගෙන වගා කරන ගොවීන් සිටින බවත් දැන් නීත්‍යනුකූල හිමිකම් සම්බන්ධව ගැටලු මතුව ඇති බවත් නීත්‍යනුකූල ඔප්පු තිබෙන ගොවීන්ට සිය හිමිකම් තහවුරු කර නව ඔප්පු ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

     

    උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිෂන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා 2013 සිට ක්‍රියාත්මක කරන ලද උතුරු හා නැගෙනහිර පළාත්වල රජයේ ඉඩම් ගැටලු විසඳීම සාර්ථකව සිදු කරමින් 2014 ඔක්තෝබර් මාසය අවසන් වන විට උතුරු පළාතේ ගැටලු 53,107ක් ද නැගෙනහිර පළාතේ ගැටලු 3,487ක් ද විසඳා අවසන් කර ඇති බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය. 2015 වර්ෂය අවසන් වන විට ලැබී ඇති ඉතිරි ගැටලු ප්‍රමාණය ද විසඳා අවසන් කිරීමට සැලසුම් කර ඇත.

     

    වර්තමානයේ ක්‍රියාත්මක වන බිම් සවිය වැඩසටහනින් මහජනතාවට මෙන්ම ජාතික සංවර්ධනයට ලබාගත හැකි ඵල ප්‍රයෝජන වැඩි දියුණු කිරීමේ අරමුණින් හා සමස්ත වැඩසටහන කාර්යක්ෂම කිරීමේ අරමුණින් යුතුව මෙම ක්‍රියාවලිය පරිගණකගත කර ඉඩම් තොරතුරු කේන්ද්‍රයක් (e-Land Hub) නිර්මාණය කිරීමට නියමිතය. ඒ අනුව මෙහි පළමු අදියර 2015 වසරේ දී නිම කිරීමට සැලසුම් කර ඇති අතර දෙවන අදියර 2015 වසර මැද දී ඇරඹීමට කටයුතු යොදා ඇති බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.

     

    ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එස්.ඩී.ඒ.බී. බොරලැස්ස, අතිරේක ලේකම් තනුජා මුරුගේෂන්, බිම් සවිය අතිරේක ලේකම් එල්.බී.එස්.බී. දයාරත්න, හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස් ජෙනරල් ගාමිණී ඉලංගකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යංශ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    SDF

    DSC 3571

     

    DSC 3591

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya