අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමයෙන් හා සංවර්ධනයෙන් පිරි රටක් පිළිබඳ අපේක්ෂාව ඉටුකරන තුරු රජයේ ගමන නතර කරන්නේ නැහැ - ජනපති

    සැප්තැම්බර් 02, 2014
    බොරු චෝදනා හා අපහාසවලින් රජයේ ගමන කිසිවෙකුට වැළැක්විය නොහැකි බව පැවසූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සාමයෙන් හා සංවර්ධනයෙන් පිරි රටක් පිළිබඳ එදා තමා ජනතාවට ලබා දුන් අපේක්ෂා නිසි අයුරින්ම ඉටුකරන තුරු රජයේ ගමන නතර නොකරන බව අවධාරණය කළේය.


    මේ රටේ ජනතාව තම රජය බලයට පත් කළේ සාමයෙන් හා සංවර්ධනයෙන් පිරි රටක් පිළිබඳ අසීමිත අපේක්ෂා පෙරදැරිව බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් කිසිදු රජයක් ඉටු නොකළ සුවිසල් වැඩකොටසක් මේ වන විටත් වත්මන් රජය ඉටුකර අවසන් බවද කියා සිටියේ ය. 

     

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව අවධාරණය කළේ රට රකින නිල් පවුර - සුරකිමු මවුබිම, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ කඩුවෙල නියෝජිත සම්මේලනයට පසුගියදා කඩුවෙල ජී.ඒ. බුද්ධදාස කි‍්‍රඩාංගණයේ දී එක්වෙමිනි. 

     

    යුද්ධයක් තිබූ රටක්, ආර්ථිකය කඩා වැටී තිබූ රටක්, විරැකියාවෙන් පිරුණු රටක් වෙනුවට අද සියලු දෙනාට නිදහසේ ජීවත්විය හැකි මෙන්ම සංවර්ධනයේ ප‍්‍රතිලාභ සියලුදෙනා භුක්තිවිඳින රටක් ගොඩනැගී ඇති බවද පෙන්වා දුන් ජනාධිපතිතුමා රට පමණක් නො ව ලෝකයම ජය ගත හැකි තරුණ පරපුරක්ද රට තුළ ගොඩනැගෙමින් සිටින බව කියා සිටියේ ය. 

     

    කඩුවෙල ජනතාව අතිවිශාල පිරිසක් සම්මේලනයට එක්ව සිටී අතර හදිසියේ ම එම ජනතාව අතරට ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාව ඔවුන් පිළිගත්තේ මහත් හරසරිණි. 

     

    අනතුරුව කොළඹ විහාරමහා දේවි එළිමහන් පීඨයේ පැවති රට රකින නිල් පවුර සුරකිමු මවුබිම, කොළඹ නාගරික බල ප‍්‍රදේශයේ ආසන නියෝජිත සම්මේලනයටද ජනාධිපතිතුමා එක් විය.

     

    ඊටද අතිවිශාල ජනතාවක් එක්ව සිටී අතර ඔවුන්ද ඔල්වරසන් නගමින් රට දින වූ තම රාජ්‍ය නායකයාණන්ට සිය ආචාරය පුද කර සිටියේ ය. 

     

    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ කඩුවෙල නියෝජිත සම්මේලනය අමතමින් ජනාධිපතිතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය.

     

    මම ආවේ ඔබට සුබපතල යන්න. හැබැයි ඔබ දැක්කහම වචන දෙක තුනක් කතා කරන්නම හිතුණා. මේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසයේ මේ තරම් ශක්තිමත් යුගයකට ගෙන ඒමට පුළුවන් කමක් තිබුණෙ නෑ. ඔබ දන්නවා බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන් එදා හදපු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නොයෙක් කම්කටොළු මැද තමයි මෙතනට අද ඇවිල්ලා තියෙන්නේ.

    අපි සියලු දේශපාලන බලවේග එකතුකරගෙන තමයි මේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගුවේ. රටේ යම් සමාජවාදී පියවරක් ගත්තා නම් ඒ සෑම පියවරක් පිටුපසම සිටියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය. 1956, 1970, 1994 වේවා අපි මේ සෑම අවස්ථාවකදිම ශක්තිමත්ව ඉදිරියට ආවා. 


    අපි දන්නවා අඳුරු යුගයක් මේ රටට තිබුණා. අවුරුදු තිස් ගණනක් අඳුරු යුගයක අපි බැට කෑවා. රට තව පසුපසට ගියා. යුද්ධයක් තියෙන රටක් අපට ලැබුණේ. ආර්ථිකය වැටිලා තිබුණු රටක් අපිට ලැබුණේ. විරැකියාවෙන් පිරුණු රටක් අපිට ලැබුණේ. දරිද්‍රතාවෙන් පිරුණු රටක් අපට ලැබුණේ. මේ සෑම දෙයකටම අපිට මුහුණපාන්න සිද්ධ වුණා. 
     

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ රජය මට ලැබුණෙ මන්ත‍්‍රීවරු 57ක් සමඟ. දැන් ගොඩක් අයට එය අමතකයි. දැන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණක් මන්ත‍්‍රීවරු 126ක් ඉන්නවා කියන එක අපි ඔබට මතක් කර සිටිනවා. මම ඒකයි කිව්වෙ ශක්තිමත් ආණ්ඩුවක් අපි ළඟ තියෙනවා කියලා. අපි යම්කිසි ගමනක් යන්න සියලු ප‍්‍රගතිශීලී බලවේග එකතුකර ගන්නවා. මේ ගමන යන විට අපට පහරවල් වදිනවා. අපි එය බලාපොරොත්තු වෙනවා. අපට තියෙන්නේ ඉලක්කයක්. ඒ ඉලක්කය කරා යන විට ගල්මුල් අපහාස උපහාස මේ සෑම දෙයක් ම අපට ලැබෙයි. 


    පොදු ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරීම සඳහා අපි ඒ සියලු දේ විඳ දරා ගැනීමට සූදානම් විය යුතුව තිබෙනවා. ඒ නිසා තමයි යුද්ධය අවසන් කර අද රට සංවර්ධනය කරා ගෙන යන්නේ. රටේ ආර්ථිකය ශක්තිමක් කරලා තියෙන්නේ. 
     

    අද ව්‍යාපාරිකයන් විශාල සංඛ්‍යාවක් අපේ රටේ ඉන්නවා. සුළු ව්‍යාපාරිකයන් සිටිනවා. අලුතින් ව්‍යාපාරිකයෝ විශාල සංඛ්‍යාවක් බිහිවෙලා ඉන්න බව ඔබට පෙනෙනවා. මම මේ ගැන අමුතුවෙන් කියන්න  ඕනෙ නෑ. කොළඹට ගිය විට මේ බව පේනවා. රු. 5000 සිට ණය අරන් ගොඩනැගුණු මිනිසුන් ඉන්නවා. එදා රාජ්‍ය අංශය පහළට දානකොට අද රාජ්‍ය අංශය ශක්තිමත් කරලා තියෙනවා. අද ලක්ෂ දාහතරක් රාජ්‍ය අංශයේ සේවය කරනවා. අද  ඕනෑ තරම් රැකියා තියෙනවා කියල ඇමතිතුමා කිවුවා. ඒක ඇත්ත. අද කුඩා රැකියා පමණක් නොවෙයි අද ඕනෑතරම් තොරතුරු තාක්ෂණය සඳහා ඉල්ලුම තිබෙනවා. 

    මම මේ ළඟ දි ගියා මරදානේ තොරතුරු තාක්ෂණ ගම්මානයට. එහි තිබුණේ දිග ගබඩා සංකීර්ණ. දැන් එහි ගොඩනැගිලි දෙකක් හදලා තියෙනවා. අනිත් ගොඩනැගිලි ඉදිවෙමින් පවතිනවා. මම ඒ ඇතුළට ගියා. මේ රටේ තරුණ තාක්ෂණ ඉංජිනේරුවන් 250ක් එහි සේවය කරනවා. අද ලෝකයේ ගුවන් ගමන්වල ගමන් බිමන් සියල්ල සම්පූර්ණයෙන් පාලනය කරන්නේ තරුණයෝ 60 දෙනෙක්. එය තමයි අපි ලබා තිබෙන ජයග‍්‍රහණය. ඉතින් මේවා ජයග‍්‍රහණ නෙමෙයිද?. 

    පාරක් හදන්න බෑ අපි දිහා වපර ඇහින් බලනවා. හැදුව ගමන් කියනවා ඒකට කොමිස් ගහලා කියලා. අධිවේගී මාර්ග හැදුවට මේවයෙ වාහන යනවද අහනවා. වාහන යන්නේ නැත්නම් හදනවද, මෙය කොළඹට, කඩුවෙලට පමණක් නොවෙයි ඔබ යන්න යාපනයට, කන්ද උඩරටට, දකුණට ඇවිල්ල කියන්න කාපට් පාරක් නැති ගමක් ආසනයක් ගැන මට කියන්න. 

    දූරකතන ගැන කතා කළොත් දැන් රටේ ජනතාවට වඩා ලක්ෂ ගණනක් දූරකතන තියෙනවා. මෙය තමයි රටේ සංවර්ධනය. බැංකුවකට ගිහින් පොලියට ණය ගත්තේ සියයට 28 - 30ට. ඒත් දැන් පොලිය සියයට 11යි. දැන් මේ පහසුකම ලැබිලා  තියෙනවා. දැන් බැංකු ව්‍යාපාරිකයන් පසුපස යනවා.  


    මම පසුගිය සතියෙ රට යන්න කලින් රජයේ සියලු බැංකු කැඳෙව්වා. ඒ අයට උපදෙස් ලබා දුන්නා. අපි සන්තෝස වෙනවා අපේ දරුවන් වෙනුවෙන්, අධ්‍යාපනය වෙනුවෙන් මේ රටේ බුද්ධිමත් ජාතියක් ගොඩනගන්න අවශ්‍ය පසුබිමක් අපි සකස් කරනවා. ඒ වැඩපිළිවෙළ අපි දියත් කරනවා. අපේ රටේ තරුණයෝ රටට පමණක් නොවෙයි ලෝකයට ඉදිරිපත් කරන්න පුළුවන් මට්ටමට තරග කරන්න පුළුවන් මට්ටමට අපි ගොඩනැගිය යුතුව තිබෙනවා. එතනටයි අපි යා යුත්තේ. 

     

    නොයෙක් අය අභූත චෝදනා කරාවි. ඒත් රටක් වශයෙන් මේ රට පාවාදෙන්නෙ නැතිව ජාතියක් වශයෙන් මේ ජාතිය පාවා දෙන්නෙ නැතිව මේ රටේ සියලු ම ජාතීන් හා ආගම්වලට නිදහසේ ජීවත්වීමට ලබාදුන් ඒ අයිතිය රැකගෙන ඉදිරියට ගමන් කරන්න අපි සූදානම් වෙමු.

     

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya