මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙලේ සංවිධාන කටයුතු පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනපති ප‍්‍රධානත්වයෙන්

    පෙබරවාරි 28, 2017

    මෙවර ශී‍්‍ර ලංකාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙලේ සහ 2017 ලෝක බෞද්ධ සමුළුවේ සංවිධාන කටයුතු පිළිබඳ සොයා බැලීමේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමක් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (27) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.

    එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය සහ ලෝක බෞද්ධ සමුළුව 2017 වසරේ ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට ලැබීම දිගුකාලීන බෞද්ධ ඉතිහාසයක් සහ සංස්කෘතියක් හිමි රටක් වශයෙන් සහ ථෙරවාදී බුදුදහමේ මූලස්ථානය වශයෙන් ශ‍්‍රී ලංකාව ලත් මහත් භාග්‍යයක් ද වේ.

    තිරසර ලෝක සාමය සහ සමාජ සාධාරණත්වය උදෙසා බෞද්ධ ඉගැන්වීම් යන තේමාව යටතේ මෙවර සමරුම් උළෙලේ ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන අතර ලෝකයේ රටවල් 85 ක පමණ නියෝජිතයින් ඊට සහභාගී වීමට නියමිත වේ.

    මැයි මස 12,13 සහ 14 යන දිනයන් හිදී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ්‍රය, නෙළුම් පොකුණ පරිශ‍්‍රය සහ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් පරිශ‍්‍රයේදී ජාත්‍යන්තර වෙසක් දින සමරු උළෙල පැවැත්වීමට නියමිතය.

    එම උත්සවයට සමගාමීව කෑගල්ල වට්ටාරම රජමහා විහාරයේදී ජාතික වෙසක් උත්සවය මැයි මස 09 වනදා උත්සවශ‍්‍රීයෙන් ඇරඹේ.

    මහා සංඝරත්නයේ මගපෙන්වීම් අනුව ආධ්‍යාත්මික හරයන් මතුකෙරෙන වැඩසටහන් කෙරෙහි වැඩි අවධානයක් යොමුකරමින් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ආදර්ශමත් වන ලෙස මෙම සියලූ උත්සව කටයුතු සංවිධානය කිරීමේ ඇති වැදගත්කම ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

    අදාළ සියලූ අංශ සම්බන්ධ කර ගනිමින් අන්තර් ආගමික සම්බන්ධතාවය වර්ධනය වන අයුරින් ගුණාත්මක වැඩසටහන් ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිතුමා නිලධාරීන් දැනුවත් කරවීය.

    වෙසක් සතිය ආරම්භ වන ලබන මැයි මස 07 වනදා සිට 13 වන දින තෙක් සෑම දිනකම පරිසරය සහ බුදුදහම, සෞඛ්‍ය සහ බුදුදහම, සාහිත්‍ය සහ බුදුදහම, සීල සමාධි වැඩසටහන්,කලාව සහ බුදුදහම, රාජ්‍ය සේවය සහ බුදු දහම, සමාජ සංවර්ධනය ආර්ථිකය සහ බුදුදහම යන තේමා යටතේ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි වෙසක් වැඩසටහන් සංවිධානය කිරීමට නියමිතය.

    එමෙන්ම මැයි මස 8 වනදා සියලූම බෞද්ධ පාසැල් දරුවන් සඳහා පාසැල් වල සීල වැඩසටහන් පැවැත්වීමටත්  මැයි 10 වනදා රාජ්‍ය සහ පෞද්ගලික පාසැල් දරුවන් ප‍්‍රමුඛ සැහැදැවතුන් සඳහා විහාරස්ථානවලදී සීල වැඩසටහන් පැවැත්වීමටත් නියමිත අතර ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක‍්‍රියාවට නංවන ලෙස ජනාධිපතිතුමා මෙහිදී නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

    අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, කතානායක කරු ජයසූරිය මහතා, අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, ගයන්ත කරුණාතිලක, රවී කරුණානායක,ත එස්.බී. නාවින්න, සාගල රත්නායක, පාඨලී චම්පික රණවක යන මහත්වරුන් ද නියෝජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරු, බෞද්ධ කටයුතු කොමසාරිස්, පොලිස්පති ඇතුළු රාජ්‍ය නිලධාරින් ද සාකච්ඡාවට එක්ව සිටියහ.

    ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya