මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු දැන ගැනීමේ අයිතිය සියලු අංශවල විවෘත විය යුතුයි - ජනපති

    සැප්තැම්බර් 28, 2016

    ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස, මානව අයිතිවාසිකම් යන සියල්ල පෝෂණය කරන සහ සුරක්ෂිත කරන රටක් ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිය රටේ සියලු අංශවල විවෘත විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

     

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ‘‘ජාත්‍යන්තර තොරතුරු දැන ගැනීමේ දිනය” නිමිත්තෙන් අද (28) පෙරවරුවේ කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ දී ආරම්භ කෙරුණු අන්තර්ජාතික සම්මන්ත‍්‍රණයේ සමාරම්භක උත්සවය අමතමිනි.තොරතුරු දැන ගැනීමේ අයිතිය සමාජයේ මූලික අයිතිවාසිකමක් ලෙස තහවුරු කිරීම පිළිබඳ දීර්ඝ කාලයක් පුරා දේශපාලන වේදිකාවේ, සිවිල් සංවිධාන අතර මෙන්ම මහජනතාව තුළ සංවාදයට ලක්වුව ද පසුගිය රජයන්ගෙන් මග හැරී ගිය එම කටයුත්ත ඉටු කිරීමට වත්මන් රජයට හැකිවූ බව ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

     

    රජයේ වැය කටයුතු සඳහා පොදු ජනතාවගේ මුදල් භාවිතයේදී හා කළමනාකරණයේදී සිදුවන අවභාවිතයන් සහ වැරදි මුල්‍ය කළමනාකරණය හේතුවෙන් රටේ පොදු ජනතාවට සිදුවන අසාධාරණය සහ රටේ ඉදිරි ගමනට ඇතිවන බාධාවන් තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු වීමත් සමග ඉවත්ව යන බවද ජනාධිපතිතුමා පැවසීය.නිදහස් මාධ්‍ය පිළිබඳ නීතිය, ව්‍යවස්ථාව හා අයිතිය කොතෙක් තහවුරු කළද අද බහුතරයක් මාධ්‍ය ආයතනවල හැසීරීම සිදුවන්නේ එහි හිමිකාරිත්වයේ හා කළමනාකාරිත්වයේ සිතුම් පැතුම් අනුව බව ද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා නිදහස් මාධ්‍ය අයිතිය සඳහා ඉඩ කඩ ලබා දීම දේශපාලනඥයාගේ වගකීම වන බවත්, රාජ්‍ය නිලධාරියා විසින් එය නියාමනය කරනු ඇති අතරම රටේ පොදු ජනතාව වෙනුවෙන් නිදහස් මාධ්‍ය භාවිතයක නිරතවීම සියලුම විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල වගකීමක් බවත් කියා සිටියේය.

     

    රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව ද තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු වීමේ අවශ්‍යතාවය මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා බහුරතයක් රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි වූ කාරණයෙන් බැහැරව කටයුතු කිරීම ලෝකයේ බොහෝ රාජ්‍යයන්හි පැවැත්මට අභියෝගයක් වී ඇති බව පෙන්වා දුන්නේය.

     

    ජාත්‍යන්තර තොරතුරු දැන ගැනීමේ දිනය නිමිත්තෙන් සංවිධානය කෙරුණු අන්තර්ජාතික සම්මන්ත‍්‍රණය අද සහ හෙට දෙදින පුරා කොළඹ දී පැවැත්වෙයි.

     

    ජාත්‍යන්තර තොරතුරු දැන ගැනීමේ දිනය නිමිත්තෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබූ මෙම අන්තර්ජාතික සම්මන්ත‍්‍රණයේ මෙම සමාරම්භක උත්සවයේ ප‍්‍රධාන දේශනය ඉන්දීය නීති කොමිසමේ හිටපු සභාපති දිල්ලි සහ මදුරාසි මහාධිකරණයන්හි හිටපු අගවිනිසුරු අජිත් ප‍්‍රකාශ් ෂා මහතා විසින් සිදු කළ අතර කථානායක කරූ ජයසූරිය, පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද විදෙස් තානාපතිවරුන්, මාධ්‍ය ආයතන ප‍්‍රධානින්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya