මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති නිව්යෝර්ක් නුවරට ළඟා වෙයි

    සැප්තැම්බර් 19, 2016
    එක්සත් ජාතින්ගේ සංවිධානයේ 71 වන මහා මණ්ඩල සැසිය ඇමතීම සඳහා ඇමෙරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (19) පෙරවරුවේ නිව්යෝර්ක් නුවර ජෝන් එෆ් කෙනඩි (John F Kennedy) ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය.
     
    නිව්යෝර්ක් නුවර ජනාධිපතිතුමා නවාතැන් ගන්නා Loews Regency හෝටලයේ දී අමාත්‍ය මංගල සමරවීර, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ආචාර්ය රොහාන් පෙරේරා, වොෂින්ටන් හි ශ‍්‍රී ලංකා තානාපති ප‍්‍රසාද් කාරියවසම් යන මහත්වරුන් විසින් ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබූහ.
     
    එක්සත් ජාතින්ගේ මහ මණ්ඩල සැසිය අද සිට 23දා දක්වා නිව්යෝර්ක් නුවරදී පැවැත්වෙන අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා 21 දා සමුළුව ඇමතීමට නියමිතය. ජනාධිපතිතුමා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සැසිය අමතන දෙවන අවස්ථාව මෙයයි.
     
    ජනාධිපතිතුමා, ජගත් සංවිධාන මූලස්ථානයේ දී පැවැත්වෙන විවෘත රාජ්‍ය සම්බන්ධතා පිළිබඳ වැඩසටහනක දී අදහස් දැක්වීමට ද නියමිතය.
     
    මෙම සැසිය සඳහා සහභාගි වන ඔස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍ය Malcom Turnbull, එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් (Ban Ki-moon), ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී (John Kerry), විදේශ කටයුතු ඉන්දීය රාජ්‍ය අමාත්‍ය එම්.ජේ. අක්බර් (M.J. Akbar), නේපාල අග‍්‍රාමාත්‍ය Pushpa Kamal Dahal, ලෝක ආර්ථික සමුළුවේ සභාපති මහාචාර්ය Klaus Schwab සහ සහශ‍්‍ර අභියෝගතා සංස්ථාවේ සභාපති Dana J Hude මහත්වරුන් සමග ද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.
     
    නිව්යෝර්ක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ දී ආරම්භ කෙරන එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 71 වන සැසි වාරය තුළ ‘‘අපේ ලෝකය වෙනස් කිරීමට විශ්වීය ජවයක්’’ යන තේමාව යටතේ රාජ්‍ය නායකයින් අදහස් දැක්වීමට නියමිතය.
     
    එමෙන්ම ඇමෙරිකාව හා එක්සත් ජාතින්ගේ සංවිධානය එක්ව සංවිධානය කරන සරණාගතයින් සහ සංක‍්‍රමණිකයින් පිළිබඳ සමුළුවක් ද මෙවර මහ මණ්ඩල සැසියට සමගාමීව පැවැත්වීමට නියමිතය.
     
    මෙහි ප‍්‍රධානත්වය ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතා විසින් දරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya