මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යසාර සහ දුම්වැටි විරෝධි වැඩපිළිවෙළ තුළ රජය සෘජු තීරණ ගන්නවා- ජනපති

    ජූනි 01, 2016

    මධ්‍යසාර සහ දුම්වැටි විරෝධී වැඩපිළිවෙළේදී රජය ඉතා පැහැදිළි හා සෘජු තීන්දු තීරණවලට එළැඹෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

    අද අඩු ආදායම්ලාභී පවුල්වල ආදායමෙන් සියයට 35 ක් මධ්‍යසාර සහ දුම්වැටි වෙනුවෙන් වැය කරන අතර රටේ දුප්පත්කම වැඩිවීමටත්, ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමටත් එය ප‍්‍රධාන හේතුවක් වී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ඒ පිළිබඳ රජය දැඩි අවධානයකින් කටයුතු කරන බව ද ප‍්‍රකාශ කළේය.

    ලෝක දුම්වැටි විරෝධී දිනය නිමිත්තෙන් ඊයේ (31) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති දුම්වැටි විරෝධී දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.

    ලොව අනෙකුත් රටවල් සහ සැසදීමේදී අප දුම්වැටියට විරුද්ධව ගෙනගිය සටනෙහි ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය වසර දෙක තුළ මෙරට පිරිමින්ගේ දුම්පානය 5‍% කින් පමණ පහළ ගොස් තිබෙන අතර එම තත්ත්වය තව තවත් වර්ධනය කර ගැනීම රජයේ අපේක්ෂාව බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

    ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ උපක‍්‍රම සහ ජනතාව ආකර්ෂණය කර ගන්නා ප‍්‍රචාරාත්මක වැඩසටහන් අපගේ තරුණ පරපුර නොමග යවමින් සිටින බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එම අවශ්‍යතාවයන් පරාජය කිරීමට පෙළගැසීම ද සියලුදෙනාගේ වගකීමක් බව කියා සිටියේය.

    අපේ රටේ නාමය ඇතුළත් කර ගනිමින් ලංකා දුම්කොළ සමාගම කි‍්‍රයාත්මක වුවද අපේ රට එහි කොටස්කරුවෙකු නොවන බව පැවසූ ජනාධිපතිතුමා මහජනතාවට බලපෑමක් සිදුවන කිසිදු ආදායම් මාර්ගයක් වෙනුවෙන් රජය කටයුතු නොකරන බව ද අවධාරණය කළේය.

    එදා සිගරුට් පැකැට්ටුවෙහි සෞඛ්‍යමය අවවාද 80 % ක් ගැසට් කිරිම හේතුවෙන් අරලියගහ මන්දිරයේ පුටුවල වාඩිවී සිටි දුම්කොළ සමාගමේ අධ්‍යක්ෂවරු ඉදිරියේ තමාට සිටගෙන හේතු පැහැදිළි කිරීමට සිදුවූ අතීතය ද සිහිපත් කළ ජනාධිපතිතුමා ඒ දෙස රටේ ජනතාව අවධානයෙන් බලා සිටීම හේතුවෙන් අද තමා මේ රටේ ජනාධිපතිවරයා දක්වා පැමිණ තිබෙන බව ද කියා සිටියේය.

    ලෝක දුම්වැටි විරෝධි දිනයට සමගාමීව පාසල් දරුවන් අතර දීප ව්‍යාප්තව සංවිධානය කරන ලද තරගවල ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට තිළිණ ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    අමාත්‍ය රාජිත සේනාරත්න, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya