මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍ය ලෝකයේ ඇවිදින පුස්තකාලය අපට අහිමි වී තිබේ - අගමැති

    අප්‍රේල් 23, 2015

    හෙළ බසට නිසි ගෞරවය ලැබ දෙමින්, බස නිසි ලෙස හසුරුවමින් මාධ්‍ය ක්ෂේත්‍රයෙහි ජයකෙහෙළි නැංවූ පතාක යෝධයකු වූ තවත් විශිෂ්ඨ ජනමාධ්‍යවේදියෙකු වන ‘ජනමාධ්‍ය ලෝකයේ ඇවිදින පුස්තකාලය’ යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වනු ලබන ඒ ප්‍රාඥයා ඩී.එෆ්. කාරියකරවන මහතා අපට අහිමි වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිඩුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

    අගමැතිතුමාගේ ශෝක පණිවුඩය,

     

    “හෙළ බසට නිසි ගෞරවය ලැබ දෙමින්, බස නිසි ලෙස හසුරුවමින් මාධ්‍ය ක්ෂේත්‍රයෙහි ජයකෙහෙළි නැංවූ පතාක යෝධයකු වූ තවත් විශිෂ්ඨ ජනමාධ්‍යවේදියෙකු අපට අහිමි වී තිබේ. ‘ජනමාධ්‍ය ලෝකයේ ඇවිදින පුස්තකාලය’ යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වනු ලබන ඒ ප්‍රාඥයා ඩී.එෆ්. කාරියකරවන මහතා ය.

     

     ඥානාර්ථ ප්‍රදීපය පුවත්පත සමඟ පුවත්පත් කලාවේ මුල් පියවර තැබූ එතුමා 1947 වසරේ ලංකාදීප පුවත්පතේ ආරම්භක කතු මඩුල්ලට එක් විය. 1951 වසරේ දිනමිණ කර්තෘ මණ්ඩලයට එක්වෙමින් ලේක්හවුස් ආයතනය හා සම්බන්ධ වූයේය. දිනමිණ, සිළුමිණ, ජනතා, ක්‍රීඩා ආදී පුවත්පත් ගණනාවක කර්තෘ ධූර දැරූ එතුමා පුවත්පත් කලාවේ උන්නතිය වෙනුවෙන් ඉටු කළ මෙහෙවර අතිමහත්ය. එස්මන්ඩ් වික්‍රමසිංහ වන මාගේ පියාණන් සමඟ මා ලේක්හවුස් පියසට ආ ගිය අවස්ථාවල එතුමන්ගේ ඇසුර ලැබීමේ භාග්‍යය උදා විය.

     

    පුවත්පත් සිරස්තල යෙදීම නව මානයකට ගෙන එමින් විශිෂ්ඨ මෙහෙයක් සිදු කළ කාරියකරවන මහතා ජීවිතයෙන් සමුගන්නා තෙක් ම පුවත්පත් සඳහා ලිපි ලිවීමෙන් භාෂාව සහ පත්‍රකලාව කෙරෙහි වූ බැඳීම මනාව පෙන්නුම් කළේය.

     

    මාධ්‍ය සංගම් රැසකම නිර්මාතෘ වූ එතුමා, ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය ඇරඹිමට පුරෝගාමීව කටයුතු කළේය. එම සංගමයේ ලේකම්, සභාපති, අනුශාසක ආදී නිලතල හොබවමින් අඛණ්ඩව තම දායකත්වය ලබා දුන්නේය. ශ්‍රී ලංකා පත්‍ර කලා විද්‍යාලය සහ කාරියකරවන ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය තුළ අධිපති ධුර දරමින් මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන ආධුනිකයින්ට ගුරුහරුකම් ලබා දෙමින් කළ මෙහෙවර ද අතිශය ප්‍රශස්ත ය.

     

    ඩී.එෆ්. කාරියකරවන මහතා විශිෂ්ඨ භාෂා ප්‍රේමියෙකු වන අතර ප්‍රවීණ ගත් කතුවරයෙකු ද වේ.  එතුමා ශ්‍රී ලාංකීය සංචාරක ලේඛන කලාවේ පුරෝගාමියෙකි. එතුමන්ගේ ජීවන මතක කැටි කළ දසක සතක මතක, මතක පොතෙන් තවත් ටිකක්, තව තවත් මතක, ඇවිද්ද පය ආදී ග්‍රන්ථ ද, හෙළ බස නිසි ලෙස හසුරුවනු පිණිස මඟ පෙන්වන අරුත් නිරුත්, බස නසන හැටි, නිවැරදි වහර  ආදී ග්‍රන්ථ ද ලාංකේය සාහිත්‍යයට තිළිණ කළ අගනා දායාදයන් ය.

     

    මෙබඳු කෙටි සටහනකට ගොනු කළ නොහැකි තරම් විශිෂ්ඨ සේවාවක් ඉටු කළ, වසර 93 ක් වූ ජීවිත ගමනට පූර්ණ අරුතක් එක්කරමින් අප අතරින් සමුගන්නා ඩී.එෆ්. කාරියකරවන විද්වතාණන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.“

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya