ජූනි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලේකම්වරු ගියත් පාක්ෂිකයෝ ගසට පොත්ත මෙන් පක්ෂය හා සැමදා සිටියා - ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨයෝ පවසති Featured

    නොවැම්බර් 23, 2014

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරුන් පක්ෂය හැරදමා වෙනත් පක්ෂවලට මාරු වීම අලුතින් සිදු වූ දෙයක් නොවන බවත් පක්ෂයේ ආරම්භක ලේකම්වරයා මෙන් ම තවත් ලේකම්වරු කිහිප දෙනෙකු ම එසේ පක්ෂය අතහැර ගිය ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ එහි ඡන්ද පදනමට බලපෑමක් කිරීමට ඒ කිසි අයෙකුට අතීතයේ දී නොහැකි වු අතර අප පාක්ෂිකයෝ ගසට පොත්ත මෙන් පක්ෂය හා බැඳී සිටින බව ද ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ සාමාජිකත්වය හොබවන අමාත්‍යවරු පවසති.


    කොළඹ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (22) පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් ව සිටි අමාත්‍යවරු එසේ පැවසූහ.


    හිටපු ලේකම් අද ජාත්‍යන්තරයේ සහ දෙමළ ඩයස්පෝරාවේ අතකොළුවක් වෙලා


    සිරිසේන මහතා ගත්ත තීරණය වැරදියි. ඒ පිළිබඳ ව අපිට කනගාටුයි. එතුමන් අද ජාත්‍යන්තරයේ සහ දෙමළ ඩයස්පෝරාවේ අතකොළුවක් වෙලා. එජාපය ඉදිරියේ නටන රූකඩයක් වෙලා. පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවේදි  අවබෝධ වුණ එක් දෙයක් තමයි මොවුන් තුළ තිබෙන්නේ පලිගැනීමේ චේතනාව, වෛරය, ක්‍රෝධය හා ඊර්ෂ්‍යාව බව මේ අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කළේය.


    මේ ආකාරයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර ගිය අය දේශපාලන වශයෙන් අනාථයන් බවට පත් වූ අතර ඇතැම් අයට යළිත් අපේ පක්ෂයටම එකතු වීමට සිදු වුණා. අනුර බණ්ඩාරනායක, විජය කුමාරතුංග මහත්වරු හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද වරින් වර පක්ෂයෙන් ඉවත් වී ගිය බව පෙන්වා දුන් අමාත්‍යවරයා එදා සිට අද දක්වා ම කිසි දිනෙක කිසි ම අවස්ථාවක පක්ෂය අත්හැර නොගොස් එසේ ගොස් සිටි අය පවා එකතු කරගත් එකම නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමායි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අභියෝග එල්ල වෙද්දි ඊට නොබියව මුහුණ දීමට පක්ෂ නායකයින් හා සමාජිකයින් සමත් වුණා. එයින් සිදුවුයේ දිනෙන් දින පක්ෂය තව තවත් ශක්තිමත් වීමයි.


    විධායක ජනාධිපති ධූරය අහෝසි කර ඒ වෙනුවට විධායක අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීමට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ කිසිදා කැමැති වන්නේ නැහැ. එසේ නම් අප කළ යුත්තේ පක්ෂය විසුරුවා හැර ගෙදර යාමයි. ජාත්‍යන්තර කුමන්ත්‍රණවලට සිරිසේන මහතා හසුවී තිබෙන බව පේනවා. කැලේ නසන්න කැලේ ගසක් යොදාගන්නා සේ හිටපු ලේකම්වරයාද ගොදුරක් කරගැනීමට ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයින් සමත්ව ඇති බව ද අමාත්‍යවරයා කීය.


    අප පක්ෂයේ සිටි කාලයේ එතුමා හොඳ සේවාවක් කලා. එතුමා පිළිබඳ ක්‍රෝධයක්, වෛරයක් අපිට නැහැ. කවුරු කොහොම ගියත් අපි පක්ෂය විනාශ කරන්න දෙන්නේ නැහැ. අපි දන්න පරිදි එජාපය කොන්දේසි ගණනාවක් දාලා තිබෙනවා. ඒ දේවල් ඉදිරියේදි බලා ගන්න පුළුවන්. අනෙක් කාරණය තමයි ජවිපෙ රනිල් වික්‍රමසිංහ මහත්තයට අගමැතිකම ලබාදීමට කැමැති ද යන කාරණය. මොකද සිරිසේන මහත්තය කිව්වේ එතුමාගේ එක ම උත්සහය විධායක අගමැති ධූරය වික්‍රමසිංහ මහත්තයට ලබාදීම. මෙය තනිකරම කෙටිකාලීන කොන්ත්‍රාත්තුවක්. මොකද වික්‍රමසිංහ මහත්තයා දන්නවා දිනන්න බැහැ. එහෙම වුනොත් සජිත් ප්‍රේමදාසට පක්ෂ නායකත්වය දෙන්න වෙනවා. එම නිසා විපක්ෂ නායකතුමාගේ උත්සහය බළලුන් ලවා කොස් ඇට බෑමයි. ඒකට තමයි අපේ හිටපු මහ ලේකම්වරයා යොදාගෙන තිබෙන්නේ.


    පක්ෂ දේශපාලනය කරද්දි යම් යම් අඩුපාඩු , සිත් රිදවීම් වෙනවා. එය දරාගන්න හැකියාව තිබෙන්න ඕන. මොකද අපි මේ තැන්වලට පත් කළේ අපේ පාක්ෂිකයෝ. යම් දෙයක් වුණ පලියට අපිට පාක්ෂිකයෝ වගේ ම පක්ෂයත් පාවලා දෙන්න බැහැ. එහෙම අයිතියකුත් නැහැ. අපේ පෞද්ගලික අරමුණුවලට වඩා පාක්ෂිකයන් පක්ෂයේ ප්‍රතිපත්ති ගැන හිතන්න ඕන. 

     
    දැදුරු ඔය ජලාශය විවෘත කිරීමේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජනතාවගෙන් ලැබුණු ප්‍රසාදය ඉතා විශිෂ්ටයි. ඒ අනුව අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ ජනාධිපතිතුමා ලබා ඇති ජනප්‍රියතාවය හා ශක්තිමත්තාවය අනුව කිසිදිනකදී පක්ෂය කඩා වැටෙන්නේ නැහැ.  අතීතයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ග්‍රාමීය මට්ටමේ ප්‍රසාදය තමයි වැඩිපුර තිබුණේ. ඒත් මේ වන විට මුළු රට තුළ ම ප්‍රසාදය ඇති වී තිබෙනවා. වත්මන් ජනාධිපතිතුමන්ට ඉදිරි දැක්මක් තිබෙනවා. එතුමා විසින් මෙරට කෘෂිකර්මය, වාරිමාර්ග වැනි බිම් මට්ටමින් කළ යුතු සියලු දේ සිදුකර තිබෙනවා. ඒ අනුව කිසි දිනක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාව පරාජය කරන්න කිසිවකුට බැහැ. එහෙම හිතනව නම් ඒ අය දකින්නේ හීන විතරයි.

    මෙහිදි ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත, ඩලස් අලහප්පෙරුම මහත්වරු ද අදහස් දැක්වූහ. 



    HC/NK

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya