මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරයාට තනි ව ව්‍යවස්ථාව වෙනස් කළ නොහැකියි

    නොවැම්බර් 17, 2014
    එළැඹෙන ජනාධිපතිවරණය හරහා කුමන් පුද්ගලයෙකු බලයට පැමිණි ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ කටයුත්ත තනිව කළ නොහැකි බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් මෙන් ම අවශ්‍ය වුවහොත් ජනමත විචාරණයක් ද අවශ්‍ය වන බවත් වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (17) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    පවතින ව්‍යවස්ථාවේ විධායක ජනාධිපති ධූරය යන කොටස පමණක් ඉවත් කළ පමණින් ව්‍යවස්ථා සංශෝධන ප්‍රමාණවත් නොවන බව පෙන්වා දෙන ඒ මහතා ව්‍යවස්ථා සංශෝධනයක් නොව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බවත් පෙන්වා දෙයි.
     
    විධායක ජනාධිපතිවරයා සතු බලතල සෑම ස්ථානයක් හි ම පවතින බැවින් විධායක ජනාධිපති ධූරය අහෝසි කළ පමණක් සෑහීමට පත් විය නොහැකි බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
     
    "ව්‍යවස්ථා සංශෝධන කටයුතු ආරම්භ කරනු ලැබූවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත්කිරීම හරහායි. සංශෝධනයක් සිදු කළ යුතුද නැති ද වග තීරණය කරන්නේ කාරක සභා වාර්තාව අනුවයි. මෙම කමිටුව පත් කරන අවස්ථාවේ දී විධායක ජනාධිපති ධූරයේ සංශෝධනයක් ඉල්ලා සිටින ප්‍රධාන විපක්ෂය එහි සාමාජිකත්වය භාරගත්තේ නැහැ. සාමාජිකත්ව දැරීමට නොහැකි වූවත් ඒ සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරය ඉල්ලා සිටිය ද ඒ සඳහා ද යහපත් ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. ඒ නිසා ඔවුන් ට සාදාචාරාත්මක අයිතියක් නැහැ විධායක ජනාධිපති ධූරයේ සංශෝධනයක් ඉල්ලීම".
     
    ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කළ හැක්කේ පාර්ලිමේන්තුවේ බහුතරයක් ගොඩනැගීම හරහා පමණක් බව පෙන්වා දුන් ඒ මහතා එසේ නොමැති වූවහොත් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම මැතිවරණ සටන් පාඨයක් පමණක් බවට පත් වන බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya